පුවත්
ණය සීමාව කෝටි ලක්ෂයකින් ඉහළට !
භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් ගන්නා අරමුදල් (ණය ) ප්‍රමාණය කෝටි ලක්ෂයකින් වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට හෙට (12) ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
මෙම යෝජනාවට මේ වන විට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇත.
භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ලබා ගැනීම මෙතෙක් පැවතියේ රුපියල් කෝටි ලක්ෂ පහක ( බිලියන 5000) සීමාවේය.
නව යෝජනාව සමඟ එම සීමාව රුපියල් කෝටි හය ලක්ෂය දක්වා (බිලියන 6000) වැඩි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය ඊයේ (11) පළවූ බවද ඔහු පවසා තිබේ.
භාණ්ඩාගාර බැඳුම්කරවලින් අරමුදල් සපයා ගැනීමට වඩා මේ ආකාරයට කෙටිකාලීන ක්‍රමයට ණය මුදල් ගැනීමෙන් පොලී සඳහා ගෙවීමට සිදුවන මුදල අඩු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මහජන තැන්පතු ගැන මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සමග ඉදිරියට යාමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී මහජනතාවගේ තැන්පතු වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධවත් මහ බැංකුව සහතික වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින්ය.
මහ බැංකුවේ ප්‍රධාන අරමුණු වන්නේ බැංකු පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා බව සහතික කරන බවත් මහජන තැන්පතුවල ආරක්ෂාවක් තහවුරු කරන බවත් ඔහු එහිදී පවසා ඇත.
හණමිටි ඉඩම් අණ පනත් සංශෝධනයට : ජනපතිගෙන් නියෝගයක් !
කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
තවමත් රට තුළ ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව ද කියා සිටියේය.
සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබා දීමේදී දැනට පවතින බාධාවන් ඉවත් කර, නව ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ඉඩම් කොමිෂන් සභාවක් හරහා පළාත් සභා යටතේ පවතින ඉඩම්වල ගැටලු නිරාකරණය කර ගන්නා ලෙසත්, ග්‍රාමසේවා වසම් මට්ටමින් පවතින ඉඩම්වල හිමිකරුවන්ගේ විස්තර සහ එම ඉඩම් වලින් දැනට ප්‍රයෝජනයට ගෙන ඇති ඉඩම් ප්‍රමාණය සහ ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය හඳුනා ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාවක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් නිලධාරින්ට උපදෙස් දෙන ලදී.
රජයේ අවශ්‍යතාවයන් සඳහා පවරාගෙන ඇති නමුත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් නැවත ජනතාව අතර බෙදාදීමට පියවර ගන්නා ලෙසත්, ඉදිරියේ දී රජයේ කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ ඉඩම්වල වෙළෙඳපොළ වටිනාකම ගෙවා අත්පත් කර ගැනීම් සිදු කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යයන්වල පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක , සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.බී.පී.හේරත්, වන සම්පත් හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙන්ම දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූහ.
කාලගුණයෙන් රතු නිවේදනයක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙයි.
එය අද (11) පෙ.ව 11ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙයි.
මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ දැනුවත් කර තිබෙයි.
'මොඛා' සුළි කුණාටුව උදෑසන 5.30 වනවිට 11.2N සහ 88.1E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය අද මධ්‍යම රාත්‍රියේ දී පමණ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සමග සාකච්ඡා !
ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) සහභාගී වී සිටින අතරතුර දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙයිමි සද්‍රා (Jaime Saavedra) මුණ ගැසුණේය.
එම හමුවේදී ගෝලීය වශයෙන් අනෙකුත් රටවල නව ආධ්‍යාපනික ප්‍රවේශයන් මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වත් නුදුරු අනාගතය තුළ සපුරාගත යුතු ගෝලීය ආධ්‍යාපනික ඉලක්ක ජයගැනීම උදෙසා මෙරට අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් හා සිදු විය යුතු සංකල්පීය වෙනස්කම් පිළිබඳ වත් කරුණු සාකච්ඡා වී ඇත.
මෙහි දී මෙරට අධ්‍යාපන ධාරිතාව පුළුල් කිරීම උදෙසා පවතින සීමාවන් හා අභියෝග පිළිබඳ ව සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් කරුණු දැක්වීය.
මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය
තවත් බාලිකාවියක් උඩින් පනියි : මේ පාර මහනුවර !
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහළට පැනීම හේතුවෙන් තුවාල ලැබ මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි .
එම ශිෂ්‍යාව ඊයේ ( 9) පෙ.ව 11.30ට පමණ පාසල් පන්ති කාමරයෙන් පිටතට පැමිණ අඩි 15ක පමණ උසක සිට බිමට පැන තිබෙන බව පොලිසිය පවසයි.
පාසලේ ශිෂ්‍ය නායිකාවක ද වන එම සිසුවිය කටුගස්තොට, කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි බව පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය වී තිබේ.
එම සිසුවිය මේ වන විට මහනුවර රෝහලේදී සී.ටී. ස්කෑන් පරීක්‍ෂාවකට ලක් කර ඇති බවත් දැනගන්නට ඇත .
අඩි 15ක පමණ උසක සිට පහළට ඇද වැටීම නිසා සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයවවලට හානි සිදුව ඇත් ද යන්න සෙවීම සඳහා අදාළ සී.ටී. ස්කෑන් පරීක්‍ෂාව සිදු කළ බව ත් එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.සී. රාජපක්‍ෂගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
පොලිස් කොමිසමේ සාමාජිකයන් අනුමතයි !
ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
වාර්තා වන ආකාරයට ඊයේ (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වු අතර එහිදි නව සාමාජිකයින් සඳහා අනුමැතිය හිමිව ඇත.
නව සාමාජිකයින් 07 දෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති අතර එම නම් ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා ඊයේ දිනයේ දීම යොමුකර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මේ වන විට ජාතික ප්‍රසම්පාදන, මුදල්, විගණන, අධිකරණ හා රාජ්‍ය සේවා යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පියවර ගෙන තිබේ.
නමුත් මැතිවරණ, අල්ලස් හෝ දුෂණ සහ සීමා නිර්ණය යන කොමිෂන් සභා සඳහා මෙතෙක් නව සාමාජිකයින් පත් කර නොමැත.
කෙසේ වුවත් මීට පෙර කතානායකවරයා පවසා තිබුනේ මෙම සතිය තුළ දි සියලු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.
යූරියා අපෙතේ ගියාදැයි පරීක්ෂණයක් !
වී වගාව සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 65ක් පමණ අපතේ යන බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද(10) නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වන අතර ඒ ඒ කෘෂිකාර්මික බෝග ප්‍රවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවකදීය.
යුරෝපා සංගමයට අයත් රටවල් මෙන්ම චීනය, ඉන්දියාව වැනි රටවල වී වගාව සඳහා යූරියා පොහොර භාවිත කරන ආකාරය පිළිබඳව පදනම් කරගෙන සිය විමර්ශන සිදුකරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.
දැනට රට තුළ යූරියා පොහොර ප්‍රමිතිය සළකා බැලීමේදී බයියුරේට් ප්‍රතිශතය සියයට 01 ට වඩා අඩු යූරියා පොහොර පමණක් වී වගාව සඳහා නිර්දේශ කෙරෙන අතර ඇමරිකාව, චීනය වැනි වෙනත් රටවල එම අගය සියයට 1 යි දශම 5 ට වැඩි අගයක් ගනී.
එම නිසා යූරියා පොහොරවලින් සියයට සියයක ඵලදායිතාවක් ලබාගත හැකි පරිදි නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.
දේශීය ආදායම් පණත බලාත්මකයි !
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව 2023 මැයි 08 දින “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (10) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
එම පනත් කෙටුම්පත පසුගිය අප්‍රෙල් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව, කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමග “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පත 2023 අංක 04 දරන “දේශීය ආදායම් (සංශෝධන)” පනත වශයෙන් බලාත්මක වේ.
IMF කණ්ඩායමක් ලංකාවට !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් හෙට (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඔවුන් ලංකාවට පැමිණෙන්නේ මේ වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙසය.
එම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් ද එක්වන බව මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත.
සියවසකට වඩා පරණ නීතියක් වෙනස් වෙන ලකුණු !
සමරිසි අයිතීන් සාපරාධි අපරාධයක් ලෙසට දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්ති කටු ගා දැමීමට යෝජනා කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල බවට මෙරට ඉහලම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දන්වා තිබේ.
365 සහ 365අ වගන්ති
ශ්‍රි ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 365 සහ 365අ වගන්තිවලට අනුව "ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය" සාපරාධී වරදක් වන අතර ඒවා "තදබල අශෝභන ක්‍රියා" ලෙස හඳුන්වනු ලබයි.
මෙම අපරාධයකට වරදකරු වන පුද්ගලයකු දැනට වසර දහයක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි ය.
වසර 135 ක් පැරණි වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණි.
විරෝධතා පෙත්සම්
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශ්‍රාමික යුධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු වන ඒ අතුල එච් ද සිල්වා, දේශපාලන විශ්ලේෂිකාවක වන ෂෙනාලී ඩී. වඩුගේ සහ සමාජ ක්‍රියාකාරිණියක වන ජෙහාන් හමීඩ් යන අයවලුන් විසින් එම පෙත්සම ගොනු කළේය.
අදාළ පනත් කෙටුම්පත තුළින් සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය නොවන වරදක් වශයෙන් අර්ථකථනය කිරීමට උත්සාහ කර ඇති බවත් ඒ තුළින් එම ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් කියා තිබුණි.
එය දණ්ඩ නිති සංග්‍රහය පිළිබඳව ව්‍යවස්ථාදායකයේ අපේක්ෂාවන්ට පටහැනි බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන බරපතල ලෙස උල්ලංඝණය වන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
බෞද්ධ, හින්දු, කිතුණු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන් අනුව පවා සමලිංගික කටයුතු අනුමත කිරීමක් සිදුකර නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන එම ආගමික විශ්වාසයන්ට පටහැනි බව මෙන්ම අදාළ පනත් කෙටුම්පතින් අපේක්ෂා කරන කරුණු මෙරට සංස්කෘතික හා ජාතික අනන්‍යතාවයන්ට ද පටහැනි බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.
එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන හෙයින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට පක්ෂව අතුරු පෙත්සම් ඉදිරිපත් කළ ක්‍රියාකාරීන් අතරින් පිරිසක්
පනත් කෙටුම්පතට පක්ෂ පාර්ශවකරුවන්
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට පක්ෂව කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනි මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, හිටපු මානව හිමිකම් කොමසාරිස් රමණි මුත්තෙට්ටුවේගම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි නටාෂා බාලේන්ද්‍ර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ දරුවන් සඳහා වූ හිටපු උපලේකම් රධිකා කුමාරස්වාමි, ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිණි වෛද්‍ය තුෂාරා වික්‍රමනායක, ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ (FPA) අධිවාචන අධ්‍යක්ෂ, සේව් ද චිල්රන් (Save the Children) සංවිධානයේ හිටපු ළමා ආරක්ෂක උපදේශක මෙන්ම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාතික හවුල්කාරිත්වයේ (National Partnership to End Violence Against Children) සම්බන්ධීකාරක සොනාලි පීරිස්, ගිනිකොනදිග ආසියාවේ එච්අයිවී සේවා වැඩසටහන් නිලධාරී ජේක් ඌර්ලොෆ්, අයිප්‍රොබෝනෝ (I Probono) සංවිධානයේ සමානාත්මතා අධ්‍යක්ෂ නීතීඥ අරිත වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයේ (NTN) විධායක අධ්‍යක්ෂිකා භූමි හරේන්ද්‍රන් සහ සමරිසි (LGBT) මානව හිමිකම් සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground) ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට අතුරු පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය.
පෙත්සම් පාර්ශවයෙන් සහ ප්‍රති පාර්ශවයෙන් දැක්වු කරුණු සලකා බැලු අග විනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට තීන්දු කරමින් ඒ බව තමන් වෙත දන්වා ඇතැයි ඒ අනුව මැයි 09 වන අඟහරුවාදා කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
"ළමයි මහන කරන්න, හමුදාවට පුතා දෙන්න බය වෙයි"
“මට මතකයි එක වෙලාවක මම භූමි ගේ අත තදින් අල්ලගෙන හිටියා. ඒ කේන්තියට, ඒ අවේගයට” යැයි පනත් කෙටුම්පතට පක්ෂව අතුරු පෙත්සමක් ඉදිරිපත් කළ ඉක්විටි ශ්‍රී ලංකා සංවිධානයේ අධ්‍යක්ෂ තුෂාර මනෝජ් පෙත්සම් විභාගය තුළ අධිකරණ ශාලාවේ දී තමන් මුහුණ දුන් අත්දැකිම් බිබිසි සිංහල සේවයට විස්තර කරමින් කියා සිටියේය.
“එක වෙලාවක පෙත්සම් පාර්ශවයෙන් කිව්වා මේ පනත සම්මත කලොතින් පොඩි දරුවෝ පන්සල්වලට මහන කරන්න දෙන එකක් නෑ කියලා. ඒ කියන්නේ එයා ව්‍යාංගයෙන් කියනවා පන්සල් ඇතුලේ මෙහෙම දේවල් වෙනවා කියලා. නැතිනම් වෙන කිසිම තර්කයක් නැනේ මේක නීතිගත කළොත් පන්සලවලට ළමයි බාර දෙන එකක් නෑ කියලා කියන්න. ඒ වගේ දේවල් කියනකොට බෞද්ධයෙක් විදියට ඒක ගොඩක් දැනුණා.”
මෙම පනත සම්මත වුවහොත් ළමා අපචාර වැඩි විය හැකි බවට පෙත්සම්කාර පාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද කරුණු බොහෝ සේ තමන්ව කම්පාවට පත් කළ බව තුෂාර මනෝජ් කියා සිටියේය.
“හමුදා නිතිය යටතේත් සමරිසි ක්‍රියාකාරකම් වැරදි කියලා කිව්වා. එතකොට මේ පනත සම්මත වුණොත් අම්මා කෙනෙක් තමන්ගේ පුතා හමුදාවට දෙන්නත් බය වෙයි කියලා කිව්වා. ආයෙත් එයා කියන්න උත්සාහ කළා පන්සලේ කතාව කිව්වා වගේම හමුදාව ඇතුලෙත් මේක වෙනවා කියලා. ඔය වගේ ගොඩක් කරුණු තිබුණා පෙත්සම් පාර්ශවයෙන් ඉදිරිපත් කළේ HIV වැඩි වේවි, ළමා අපචාර වැඩි වෙයි, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි වගේ දේවල්.” යැයි ඉක්විටි ශ්‍රී ලංකා සංවිධානයේ අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
"පාර්ලිමේන්තුවේ දී පක්ෂ, විපක්ෂ සහාය දෙන්න"
“දැන් අපිට වෙලා තියෙන දේවල් දිහා බලපුවාම මේ වෙලාවේ මෙවැනි පනත් ගෙන ඒම තුළිනුත් අපි දේශපාලන පොර පිටියක පාපන්දුවක් බවට පත් වෙලාද කියන සැකය අපිට ඇති වෙනවා. ඒ සැකය ඇති වීමට සාධාරණ හේතු ඕන තරම් තියෙනවා.” ශ්‍රේෂ්ඨාධිකරණයට අතුරු පෙත්සමක් ඉදිරිපත් කරන ලද නීතිඥ ආචාර්ය විසාකේස චන්ද්‍රෙස්කරම් බිබිසි සිංහල සේවය වෙත කියා සිටියේය.
එම සැකයෙන් මිදීමට නම් කළ හැක්කේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන ලද පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද පාර්ලිමේන්තුව තුළ දී ඊට සිය සහාය ලබා දීම පමණක් බව ආචාර්ය විසාකේස පවසයි.
“මේක පෞද්ගලික මන්ත්‍රීවරයෙක් ගෙන එන පනතක්. මේ වගේ අවස්ථාවක දී අපි අපේක්ෂා කරන්නේ මේ රටේ ආර්ථිකයට හා සමාජයට දායකත්වයක් ලබා දෙන පුරවැසියන් හැටියට සමකාමී සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන් බලාපොරොත්තු වෙන්නේ මන්ත්‍රීවරයා ගෙන එන පනතට ආණ්ඩුව සහාය දැක්විය යුතුයි කියන එක, නමුත් එහෙම වෙනවා කියලා පේන්නේ නෑ. මේක තනි මන්ත්‍රීවරයෙක් පිටට දාලා අනිත් අය සේරම අත හෝදගන්න බලාගෙන ඉන්නවා.”
ඉතිහාසයේ දී පවා සමාජය තුළ යම් ගැටලුකාරි අවස්ථා ඇති වු විට මෙවැනි පනත් හඳුන්වා දීමට උත්සාහ කළ බව සිහිපත් කරන ලද අචාර්ය විසාකේස චන්ද්‍රෙස්කරම් එය සමරිසි ප්‍රජාවේ අයිතීන් තහවුරු කිරිම වෙනුවෙන් කළ දෙයක් නොවන බව ද දැඩිව අවධාරණය කළේය.
"සියවසකටත් වඩා පරණ නීතිය වෙනස් වනතුරු බලා සිටිනවා"
සියවසකටත් වඩා පැරණි නීතිය සංශෝධනයවනු ඇතැයි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට පක්ෂව තවත් අතුරු පෙත්සමක් ඉදිරිපත් කළ භූමි හරේන්ද්‍රන් පවසන්නීය.
"ශ්‍රේෂ්ඨාධ්කරණයෙන් ලැබුන තීන්දුව ජයක් විදියට තමයි මම දකින්නේ. ඒවගේම මම විශ්වාස කරනවා මේක පාර්ලිමේන්තුවෙනුත් ජය ගනී කියලා. අපි බලාගෙන ඉන්නවා අවුරුදු සිය ගානක් පරණ මේ පිඩාකාරි නීතිය දැන්වත් වෙනස් වෙයි කියලා. මේක තවත් මිනිස්සු කොට්ඨාශයක අයිතියක්." යැයි ඇය බිබිසි සිංහල සේවය වෙත කියා සිටියාය.
පාර්ලිමේන්තුව තුළ විවාද කිරිමෙන් අනතුරුව සමරිසි අයිතිය නිර් අපරාධිකරණය වන නීතිය සම්මත වනු තුරු බලා සිටින බව සමාජ ක්‍රියාකාරිණියක වන භූමි හරේන්ද්‍රන් වැඩි දුරටත් පැවසීය.
බීබීසී
ජනාධිපති යන පාර හරි : අප නිවැරදි බව අද ඔප්පුවී තිබෙනවා - හිටපු මුදල් ඇමති රවී (වීඩියෝ )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැටුණු රට ගොඩනැගීම වෙනුවෙන් සාර්ථක වැඩපිළිවෙළක් තුළ ගමන් කරමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
පසුගිය සමයේ විවිධ පාර්ශ්ව විසින් මවනු ලැබූ බිල්ලන් හේතුවෙන් තමන් එදා දැක්වූ අදහස් ප්‍රතිකේෂ්ප වූ නමුත් මේ වන විට ඒ අදහස් වල වලංගු බව තහවුරු වී ඇති බවත් හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.
2015 රට බාරගන්නා අවස්ථාවේ ද මෙරට ආර්ථිකය බිඳ වැටී තිබුණ බවත් එහිදී රටේ ආර්ථිකය ගොඩනැගීමට ගනුලැබූ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ගියා නම් මෙවැනි වාතාවරණයක් ඇති නොවන බව පසුගිය සාකච්ඡා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අවධාරණය කර ඇති බවත් ඔහු පවසයි .
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ අදහස් පළකර සිටියේ youtube නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින්ය .
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවේ දැක්වෙයි .
උපයෝගීතා කොමිසමේ සභාපති ජනක : 2024 ජනාධිපති අපේක්ෂකයෙක් !
2024 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත පවසා ඇත .
ඔහු සඳහන් කරන ආකාරයට මේ ඉදිරිපත්වීම සිදුවන්නේ නිර්පාක්ශික අපේක්ෂකයෙකු ලෙසයි.
ඒ බව දක්වමින් ඔහු පවසන්නේ වසර 75ක් මෙරට පැවති අර්බුදකාරි ආර්ථික තත්ත්වය මැඩලීම සදහා සුසමාදර්ෂය මත පදනම්වු ක්‍රමවේදයක් මත ආර්ථිකය උඩු යටිකුරු කරන ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බවයි.
එසේම ජනතාවට කැපවීමෙන් සේවය කල හැකි ඕනෑම කණ්ඩායමකට තමන් සමග එකතු විය හැකි බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි .
මෙරට ආගමික නායකයින්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තියවේදින් හා මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් තමන් 2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තීරණය කළ බවද ඔහු කියා සිටියි.
ගෝඨාභය ජනාධිපති - මහින්ද අගමැති පාලන සමයේදී ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස පත්වූ අතර පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය වූ කංචන විජේසේකර මෙන්ම රජයේ ප්‍රතිපත්ති සමග ගැටෙමින් නිතර පුවත් මවන චරිතයක් බවට පත්විය. දේශපාලන විචාරකයන් පවසන්නේ ජනක රත්නායක පසුගිය සමයේ ජනතාව වෙනුවෙන් කියා අධිමාත්‍රාවෙන් වතුර ඇද්දේ ඇයි යන්න පසුපස තිබූ සැබෑ අපේක්ෂාව මේ හරහා තහවුරු වන බවය. එසේම තවත් "වෙන්ඩ ජනාධිපති " කිහිපදෙනෙකු ද අධිමාත්‍රාවෙන් ජනතාව වෙනුවෙන් කියා වතුර අදිමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටිය යුතුව ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .
ඕමාන ආයෝජකයාගේ ආරක්ෂාව ගැන ටිරාන්ගෙන් සහතිකයක් !
කටාන හල්‍පෙ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයකුට අයත් කම්හලට කඩාවැදී පහරදීමේ සිද්ධිය හේතුකොට ගෙන එහි සේවක පිරිසට මසක වැටුප් ගෙවා කම්හල මාසයකට වසා දැමීමටගත් තීරණයක් හේතුවෙන් එහි සේවක සේවිකාවෝ 350 ක් පමණ විදුලි බල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ගේ නිවාස ඉදිරිපිට ඊයේ (08) දහවල් විරෝධතාවයක් පැවැත්විය.
මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ රාජ්‍ය ඇමතිවරයාගේ හිතවතකු බව කියන පුද්ගලයකු එම ආයතනයට කුලී පදනම මත වාහනයක් සැපයීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊට පසු දිනම පුද්ගලයන් තිදෙනකු බඩල්ගම පොලිසිය අත්අඩංගුවට ගැනුණු නමුත් පහරදීම සම්බන්ධයෙන් කෙරෙන පරීකෂණ විධිමත් නැති බවට එල්ලවූ චෝදනා නිසා පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට පවරනු ලැබීය.
මේ අතර තම ආයතනයට නිසි ආරක්ෂාව සහතික කෙරෙන බවට රජයෙන් සහතිකයක් ලැබෙන තුරු ආයතනය පවත්වාගෙන යාම ගැටලුවක් බව සදහන් කරමින් සේවකයන්ට මසක වැටුප් ගෙවා වසා තැබීමට ආයතන හිමිකාරීත්වය කටයුතු කර ඇතැයිද මේ තත්ත්වය උද්ගතවූයේ රාජ්‍ය ඇමතිවරයාගේ බලපෑම නිසා බවටද චොදනා කරමින් සේවක පිරිස් ඊයේ දහවල් මෙසේ විරෝධය දක්වනු ලැබීය.
සේවක පිරිස විරෝධතා පා ගමනින් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ගේ හල්‍පේ පහේ කණුව ප්‍රදේශයේ පිහිටි නිවාසය හා මහ ගෙදර ආසන්නයටම ගොස් විරෝධය දැක්වූහ.
ආයෝජකයාට ටිරාන්ගෙන් සහතිකයක් !
කෙසේ වුවත් ඕමාන ජාතික කටාන ඇඟලුම්හල් ආයෝජක කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්, කළමනාකරණ නියෝජිත යසීර් ලහීර්
සමග මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අද(9) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අමාත්‍යවරයා ඕමාන් ආයෝජකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට වග බලාගන්නා බවට පොරොන්දුවී ඇත.
තවද මෙම සිද්ධිය සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ බවත් ආයෝජකයාගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට උපදෙස් ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවද මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා ඕමාන් ජාතික ආයෝජකයාට දැනුම්දී ඇත.
තම ආරක්ෂාව තහවුරු කිරීම පිලිබඳව හා මෙම සිදුවීම කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම පිළිබඳව සිය ස්තුතිය පුද කරන බව ඕමාන ජාතික ආයෝජකයා පැවසීය.
ශ්‍රී ලංකාව හැරනොයන බවට තීරණය අමාත්‍ය ටිරාන් අලස් සමග පැවති සාකච්ඡාවෙන් පසු තීරණය කලබව ආයෝජකයා අවධාරණය කර ඇති අතර නමුත් මෙම ඇගලුම් කර්මාන්තශාලාව කටාන ප්‍රදේශයේම පවත්වාගෙන යනවාද නැතිනම් වෙනත් ප්‍රදේශයකට ගෙනයනවාද යන්න පිලිබදව තම පවුල සමග සකච්ඡා කර තීරණය කරන බවත් ප්‍රකාශකර ඇත.
ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්න : ජනපති පළාත් ලේකම්වරුන්ට දන්වයි !
ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (09) සියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය.
ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත.
ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896ක් වාර්තා වී අතර සමස්ත රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය ආසන්න ප්‍රතිශතයක් ලෙස 49% ඉක්මවා ඇත.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21%ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18%ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 7%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. ඒ අතරින් කොළඹ මහ නගර සභා ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3.4%ක් වාර්තා වී තිබේ.
මීට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව, මහනුවර, ගාල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින්ද සැළකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පසුගිය සතියට වඩා රෝගීන්ගේ යම් වැඩි වීමක් වාර්තා වෙයි.
ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් කළ විමසීම අනුව ලබා දුන් තොරතුරු පහත පරිදි වේ.
මේ වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 6678 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 7166 ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්1902ක්ද වශයෙන් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,746කි.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 209 ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 155ද වශයෙන් උතුරු මැද පළාතෙන් මේ වසරේ ඩෙංගු රෝගීන් 364ක් වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1481 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගයෙන් 503 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 57ක් වශයෙන් මධ්‍යම පළාත තුළින් මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2401 කි. සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 2කි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 445ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 111ක් ද වශයෙන් ඌව පළාතෙන් ඩෙංගු රෝගීන් 556ක් වාර්තා වී තිබෙන අතර එක් මරණයක් වාර්තා වී තිබේ.
2023 වසරේ සබරගමුව පළාතෙන් ඩෙංගු රෝගීන් 1878ක් වාර්තා වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 708 ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1170 වාර්තා වී ඇති අතර මරණ වාර්තා වී නොමැත.
වයඹ පළාත තුළ මේ වසරේ ඩෙංගු රෝගීන් 3 ,458ක් වාර්තා වී ඇති අතර ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1069 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2389ක් වශයෙනි. වයඹ පලාත තුල වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 3 කි.
දකුණු පළාත තුළ මේ වසරේදී ඩෙංගු රෝගීන් 1966ක් වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 918ක්ද, මාතර ඩෙංගු රෝගීන් 536ක්ද, හම්බන්තොට ඩෙංගු රෝගීන් 512ක්ද වාර්තා වී ඇත. දකුණු පළාත තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 108ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 106ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 55ක්ද වශයෙන් නැගෙනහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 269ක් වාර්තා තිබේ. නැගෙනහිර පළාත තුළ ඩෙංගු මරණ 03ක් මේ වන විට වාර්තා වී ඇත.
උතුරු පළාතේ ඩෙංගු රෝගීන් 1326ක් වාර්තා වී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1121ක්ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 51ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 27 ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 33ක්ද, වවුනියාව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 94ක්ද වාර්තා වී ඇත. උතුරු පළාත තුළ ඩෙංගු මරණ 02ක් මේ වන විට වාර්තා වී තිබේ.
මේ වන විට ඩෙංගු වෛරසයේ 2 සහ 3 ප්‍රබේද වැඩි වශයෙන් වාර්තා වන අතර ඩෙංගු වෛරසයේ 3 ප්‍රබේදය පැතිරෙන්නේ වසර 14 කට පසුවය. ඒ සඳහා ප්‍රතිශක්තිය අවම බැවින් ඩෙංගු රෝගය පැතිරීමට ඇති අවස්ථා ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
රෝග නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරු අද තහවුරු කළහ.
ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම, නාගරිකව හා ග්‍රාමීයව සියලු නිවාස සහ වෙළෙඳ සැල් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කිරීම්, ඩෙංගු රෝගීන් හඳුනා ගන්නා ප්‍රදේශ වෙත ගොස් අවට ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, දුමාරණය,ස්ථානීය පරීක්ෂාවන් සිදු කර මදුරු කීටයන් හඳුනා ගැනීම, නිවාස හා ආයතන පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගෙන යාමට අපොහොසත් වන්නන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද පළාත් ප්‍රධාන ලේකම්වරු පෙන්වා දුන්හ.
මේ අතර සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනතාවගේ ද සහාය උපරිමයෙන් අවශ්‍ය බවයි.
කුරුණෑගල තුෂාරට කරන්නාගොඩ ගහපු ගැසට් එක මෙන්න !
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18කින් 11කටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබේ.
හිටපු නගරාධිපතිවරයාගේ පාලන කාලය තුළ වැරදි සිදුකර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් එම තීන්දුව ලබාදී ඇත.
ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද ඊයේ (08) නිකුත් කළේය.
අදාළ ගැසට් නිවේදන පහත දැක්වෙයි.
ජනක දොට්ට දමන වාර්තාව පාර්ලිමේන්තුවට !
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, සමාජික ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති - මහින්ද රාජපක්ෂ අගමැති සමයේ ඔවුන්ගේ ආශීර්වාදය ඇතුව ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරය සඳහා පත්කෙරිණ.
නමුත් ඔහු පසුව කටයුතු කර සිටියේ ආණ්ඩුව බලවත් අපහසුතාවයට පත්වන ආකාරයටය. එහිදී අවස්ථා ගණනකදී විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයාට සිය ධුරයේ කටයුතු කරගෙන යාමට ජනක රත්නායක හිතාමතා බාධා කරන බවට පවා ඇතැම් අවස්ථා වලදී චෝදනා එල්ලවිය.
සීනි මිල නැගීම අවුලක් !
වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වන අතර ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බවද සඳහන් කළේය.
එසේම තිරිඟු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13%කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළෙඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15%කින් පමණ පහළ ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
එවැනි තත්ත්වයක් යටතේ රජය පැනවූ බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Page 169 of 440