Language Switcher

V2025

ඉන්දීය අයවැයෙන් ලංකාවට වැඩි මුදලක්.....

2025 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද ඉන්දියානු අයවැය මගින් ශ්‍රී ලංකාව සඳහා ගිය වසරට සාපේක්ෂව වැඩි මුදලක් වෙන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මෙම වසර සඳහා ඉන්දීය රජය ඊයේ දිනයේ අයවැය ඉදිරිපත් කරනු ලැබූ අතර, ඉන්දිය මධ්‍යම රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් අය වැය ඉදිරිපත් කරන ලදී.

මෙවර ඉන්දියාවේ අයවැයෙන් විදේශ රටවලට ආධාර සැපයීම සඳහා වෙන් කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5483කි.

ප්‍රධාන වශයෙන් මෙලෙස ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ අසල්වැසි රටවල ජලවිදුලි බලාගාර ,නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම, මාර්ග සහ පාලම් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති සම්බන්ධයෙනි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක් මේ වසරේ වෙන් කර ඇත.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1032ක් වේ.

ගිය වසරේ මෙම අගය ඉන්දීය රුපියල් කෝටි 245ක් ලෙස සදහන් වේ.

ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් යථා තත්ත්වයට පත්වන තෙක් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවයි ඉන්දිය රජය ඉදිරිපත් කළ අයවැය ලේඛෙනයේ සඳහන් වෙයි.

මෙවර විදෙස් රටවල් සඳහා වෙන් කර ඇති සමස්ත මුදලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ භූතානය සඳහායි.

ඒ ඉන්දීය රුපියල් කෝටි 2150කි.

ගිය වසරේ එම අගය දැක්වූයේ ඉන්දීය රුපියල් කෝටි 2068ක් ලෙසයි.