මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියහොත් වාර්ෂිකව රුපියල් බිලියන හාරදහසක් රටට අහිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගම්පොළ ජන රැළියේදී අද(09) පැවසීය.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වාර්ෂිකව රුපියල් බිලියන 8900 ක වියදමක් යන බව කී ජුඅනධිපතිවරයා, බදු අඩු කළ විට ලැබෙන ආදායම රුපියල් බිලියන 4900 ක් පමණක් බව සඳහන් කළේය.
කෝපි කඩේ කතා නැතුව සංඛ්‍යාලේඛන සමග මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නැයි අනුර දිසානායක ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
"මිත්‍රයා" ලෙස ආමන්ත්‍රණය කරන්නට එපා යැයි අනුර දිසානායක තමා හට පවසා තිබෙන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඒ නිසා හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ආමන්ත්‍රණය කරන බවද කියා සිටියේය.
"අප ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කරමු. අනාගතයේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය අනුව ඉදිරියට යා යුත්තේ ඒ නිසයි.'''
'' ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනෙක් අය රට හදන ආකාරය ගැන කියන්නේ මොනවාද? සජිත් ගැන මොනවා කියන්නද? ඔවුන් හැම දෙයක්ම නොමිලේ දෙන බව කියනවා. තව ටික දවසකින් ඔවුන් බඩු ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනවා කියාවි.''
මාලිමාවෙන් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අය කියන්නේ කෝපි කඩේ කතා. ඇත්ත කියන්න බයයි. මාලිමාව කියන විදියට අයවැය හැදුවොත් ආරම්භ වෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල 400 - 450 අතර අගයකින් ඉහළ නැගලා. එහෙම වුනොත් උද්ධමනය සියයට 25කට යනවා. අපට ණය ගන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහක අගයක් දක්වා පමණයි.
දැනට අපේ වාර්ෂික වියදම ඩොලර් බිලියන 6800ක් පමණ වෙනවා. නමුත් ආදායම ඩොලර් බිලියන 5100ක්. මේ අනුව අපට පරතරයක් තිබෙනවා. ඒ පරතරය පියවීම සඳහා සියයට පහකට වඩා අඩු පොලියකට ණය ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. එවිට අපගේ අයවැය පරතරය පියවීමට හැකියාව ලැබෙනවා.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන්ගේ අයවැය පිළිබඳ මා සලකා බැලුවා. රුපියල් බිලියන 8900 ක් මාලිමාවේ ප්‍රතිපත්ති අනුව වියදම යනවා. මේ අය කියන පරිදි බදු අඩු කළ විට ආදායම රුපියල් බිලියන 4900 ක් පමණයි. අපගේ අයවැය අනුව ලබන ආදායම බිලියන 5100යි. රුපියල් බිලියන 4000ක් අඩුවී තිබෙනවා. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 11.9ක් අඩු වී තිබෙනවා. ඉතින් ඉතිරි ටික හොයාගන්නේ කොහොමද?
ණයට සල්ලි ගන්න ගියොත් ඔවුන්ට පොලිය සියයට 25 ක්වත් ගෙවන්න වේවි. සල්ලි අච්චු ගහන්න ගියොත් මොකද වෙන්නේ? කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ ඩොලරය පන්සියයක් වේවි.
මා අහන්න කැමතියි මා මිත්‍ර....... ආ, මට මිත්‍රයා කියන්න එපා යැයි කියලා තිබෙනවා . හිටපු කෘෂිකර්ම ඇමති අනුරගෙන් මම අහනවා. මේ අයවැය මොකක්ද? මිනිසුන්ට නැවත මෙහෙම බර පටවන්න හදන්නේ ඇයි? වහාම සංඛ්‍යාලේඛන කියන්න. නිකං කෝපි කඩේ කතා කියන්න එපා. ජනතාවට දාන්න යන බර ගැන කියන්න.
හිල් තියෙන බැනියම් අඳින කෙනා සහ ඩොක්ට සූරියප්පෙරුම මෙය හැදුවා නම් ඒ අය උත්තර දෙන්න. මේ අයට ආර්ථිකය සැලසුමක් නැහැ. ආර්ථිකය නැවත කඩනවා. එහෙම වුනොත් ගෝඨාභයගේ කාලෙට වඩා අමාරු තත්ත්වයක් හිටපු කෘෂිකර්ම ඇමති අනුරදී යුගයක් ආවොත් ඇතිවේවි. මේ නිසා ඔබ ඡන්දය දෙන්නේ කාටද කියා තීරණය කරන්න" යයි ද ජනාධිපතිවරයා කීය.