දැන් සමාව ගත යුත්තේ රනිල් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසී ය.
ඊට හේතුව, උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේ ම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් යැයි අනුර කුමාර දිසානායක පැහැදිලි කළේ ය.
අනුර කුමාර දිසානායක මෙම පැහැදිලි කිරීම කළේ ඊයේ (08) මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති අන්තර් සමාගම් සේවක සංගමයේ 25වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.
එම සමුළුවේ දී අනුර කුමාර දිසානායක පළ කළ අදහස් මතු දැක්වේ.
ස්තුතියි සුමන්තිරන්...!
‘‘ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය මේ සැප්තැම්බර් විසි එක්වැනිදා අවසන් කරන බව නියතයක්ව තිබෙනවා. මේ නිසාම සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙනවා. වසන්ත සහෝදරයා සහ මහින්ද ජයසිංහ සහෝදරයා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බවට පසුගිය හයවැනිදා ප්‍රචාරයක් දියත් කර තිබුණා. අධිකරණ නියෝගයක් විකෘති කිරීම පිළිබඳව අධිකරණයක නඩු පවරන්න පුළුවන්. මේ වන විට අපට එන්තරවාසි යැවීම සහ පැමිණිලි කිරීම් කිසිම අඩුවක් නැතිව කරන්න සිදු වී තිබෙනවා. අධිකරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව නීතිඥ මහත්වරුන්ගේ කෝට් එක පවා ගලවන්න පුළුවන්. අපි අධිකරණය ඉදිරියේ ඒ සියලු ක්‍රියාමාර්ග ගන්නවා.
දේශපාලන වේදිකාවේ මේ විකෘති කිරීම් සහ අසත්‍ය ප්‍රචාර දියත් කිරීම් දැන්වත් නතර කරන්න ඕනෑ. රාවුෆ් හකීම්, තිස්ස අත්තනායක වැනි අයටත් එන්තරවාසි යවා තිබෙනවා. තිස්ස අත්තනායක සමාව ගත්තත්, නඩු පැවරිය යුතු තත්ත්වයක කූට ලේඛන හැදීමටම උපන්නෙක් බවට පත් වී සිටිනවා. ඒ වාගේම රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් කියනවා, මම දෙමළ ජනතාවට තර්ජනය කළාලු. ඒ ගැන සමාව ගන්නලු. මම රනිල් වික්‍රමසිංහට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා කැත විදියට දේශපාලනයේ දී ජාතිවාදය වපුරන්න උත්සාහ කරන්න එපා” කියලා. හැබැයි, මම එයට උත්තර දෙන්නත් පෙර සුමන්තිරන් මන්ත්‍රීවරයා නිවැරදි උත්තරය දී තිබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා, දැන් රනිල් ඔයා සමාව ගන්න.
රනිල්ට එරෙහි චෝදනා
රට තුළ එකිනෙකාට එරෙහිව ජාතිවාදය වැපිරීමට, එකිනෙකා විරසක කිරීමට දරන උත්සාහයන් දැන් අහෝසියි. නමුත්, රනිල් වික්‍රමසිංහලා තාමත් පරණ බඩු කඩෙන් බඩු ගන්නේ. රනිල් වික්‍රමසිංහ මෑත අවස්ථා ගණනාවකදීම “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” යනුවෙන් කියා තිබෙනවා. ඔය ‘ෂේප්’ වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපත් එක්ක ‘ශේප්’ වෙන්න බැහැ. මහ බැංකුවේ වංචාව පිළිබඳව පරික්ෂණ කරනවා. ඒ වාගේම ඔයාගේ කාලයේ බාර් ලයිෂන් දීපු විදිය හොයනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව සතු ඉඩම් යාළුවන්ට බෙදපු විදිය හොයනවා. ඒ වාගේම වංචනිකයන්, දූෂිතයන් ආරක්ෂා කළ ආකාරය ගැන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක දී පරීක්ෂණ කරනවා. ඔය අතරේ තවත් අවලාද නඟමින්, ජාතික ජන බලවේගය බලයට ආවොත්, විසි දෙවැනිදා කලබල ඇති වෙයි කියලත් ප්‍රචාර යවනවා.
පොලිසියට දෙසතියක නිවාඩුවක් දුන් එජාප ය
ජයග්‍රහණය කළාම පරාජිතයන්ට හිංසා කිරීමේ ඉතිහාසයක් තිබෙන්නේ ඔවුන්ටයි. විශේෂයෙන් ම එක්දහස් නමසිය හැත්තැ හතේ සිටි රනිල් වික්රමසිංහලාටයි. එදා මැතිවරණ ජයග්රහණයෙන් පසුව සති දෙකක් පොලිසිය ස්ථානවලට සීමා කර විරුද්ධ පාක්ෂිකයන්ට පහර දෙන්න, ගෙවල් ගිනි තියන්න, වෙඩි තියන්න ඉඩ සලසා දුන්නා. ඒ කාලයේ කිවුවේ, සති දෙකක් පොලිසියට නිවාඩු දුන්නා කියලයි. නමුත්, ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලත් අපි උගන්වනවා. සැප්තැම්බර් විසි තුන්වෙනිදා සිට හැම පක්ෂයක ම පාක්ෂිකයන් හමු වී වෙනස් වෙන්න අපි ආරාධනා කරනවා. නමුත්, වෙනස් වෙන්න අකැමැති නම්, ඔවුන්ට කැමැති දේශපාලන ව්‍යාපාරයක දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. ඒක ප්රජාතන්ත්රවාදී අයිතියක්. සැප්තැම්බර් විසි එක්දා දක්වා පක්ෂවලට බෙදිලා, අපි වැඩ කරයි. නමුත්, සැප්තැම්බර් විසි එකෙන් පසුව මේ රට ගොඩනැගීම සඳහා අපට ඡන්දය නොදුන් ඡන්දදායකයාත් එකතු කරගෙනයි මේ රට ගොඩනගන්නේ. ඒ නිසා අපේ ජයග්රහණයෙන් පසුව අනෙක් පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ පාලනය ඉඩ දෙන්නේ නැහැ.
කලින් කලට කියන කතා
කලින් කිවුවේ, සියයට තුනක් තියාගෙන දිනන්නේ කොහොමද කියලා. දැන් සජිත්ට කතිරය ගහලා අපව පරාද කරන්න බැහැ කියලා රනිල් කියනවා. සජිත් කියන්නේ, රනිල්ට කතිරය ගහලා අපව පරාජය කරන්න බැහැ කියලා. අද මේ රටේ ජනතාව කෙළින්ම මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න පෙළගැසී සිටිනවා. ඒ නිසා ඔවුනුත් අපේ ජයග්‍රහණය පිළිගෙන ඉවරයි. අලුතින් කියන්නේ, දිනුවත්, මාස හයක් යන්න බැහැ කියලයි. ඔවුන්ගේ ප්‍රචාරවල මුලින්ම ‘මාලිමාවට දිනන්න බැහැ’ කියලා කිවුවා. ඊළඟට ‘මාලිමාව දිනුවොත්...’ කියලා කිවුවා. දැන් කියන්නේ, ‘මාලිමාව දිනුවාම මාස හයක් යන්න බැහැ’ කියලා. මේ වෙනස පිළිබඳව ගැඹුරු සහ විශාල බලාපොරොත්තුවකින් අප දීර්ඝ කාලයක් අධිෂ්ඨානශීලීව සිටිමින්, විශාල බලවේග ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. ඒ වාගේම ශක්තිමත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. අපි මේ ජයග්‍රහණය අත්පත් කර ගන්නේ මාස හයෙන් යන්න ද? මේ ජයග්රහණයෙන් ලංකා ඉතිහාසයේ දිර්ඝතම ජයග්‍රහණයක් නිර්මාණය කරන බව සහතිකයි.
ආදායමෙන් සාධාරණ පංගුවක් සේවක සේවිකාවන්ට
මෙතැනට එකතු වී සිටින්නේ ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන අයයි. ලංකාවේ ශක්තිමත්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ව්‍යාපාරය අන්තර් සමාගම් සේවක සංගමය බව කවුරුත් දන්නවා. ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පෞද්ගලික අංශය කඩාකප්පල් කරන්න උත්සාහ කරන බවට ප්‍රචාර යවනවා. ජාතික ජන බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති වැඩ කරන සෑම තැනකම ඉතාමත් සාමකාමීව කටයුතු කරන බව සතුටින් කියන්න ඕනෑ, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ වැඩිම වැටුප් ලබන ආයතන අන්තර් සමාගම් සේවක සංගමය පවතින ආයතනයි. වැඩිම බෝනස් ප්‍රමාණයක් සේවකයින්ට ලැබෙන්නේ, වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙන්නේ එම ආයතනවලින්. ජාතික ආර්ථිකයට පෞද්ගලික අංශය ශක්තිමත්ව දායක කර ගනිමින්, ඔවුන් ලබා ගන්නා ආදායමෙන් සාධාරණ පංගුවක් එම සේවක, සේවිකාවන්ට ලබා දීම අපේ ප්රතිපත්තියයි.
නූතන වහල් වෙළඳාම
පෞද්ගලික අංශයේ දියුණුව සඳහා මේ වන විටත් යම් බාධාවන් තිබෙනවා නම්, ඒ ගැටලු විසඳා දීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්රමුඛත්වයක් දී කටයුතු කරනවා. නමුත්, ලාභයෙන් සාධාරණ පංගුවක් වැඩ කරන ජනතාව වෙත ප්රතිලාභ ලෙස ලබා දෙන්න ඕනෑ. එය වැරැදි ද? එම ආයතන බිඳවැට්ටීමක් වෙනවා ද? කිසිසේත්ම නැහැ. කර්මාන්තකරුවන් වාගේම එම සේවක, සේවිකාවන් යන දෙපාර්ශ්වයෙන්ම ස්ථාවරත්වය තහවුරු කෙරෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. දශක එකහමාරක සිට ගොඩනැඟී තිබෙන ‘මෑන්පවර් ඒජන්සි’ හරහා රැකියා ලබා දීම නූතන වහල් වෙළෙඳාම හා සමානයි. එම ආකෘතිය තවදුරටත් පවත්වාගෙන නොයා යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ඒ වාගේම මාස හයකට වරක්වත් ජීවන අංකයට අනුව වැටුප් වර්ධක ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා.
තෘප්තිමත් විශ්‍රාම කාලයක්
ආර්ථිකය ස්ථාවර නම්, භාණ්ඩ හා සේවා මිල නිරන්තර උච්චාවචනයන්ට ලක් වෙන්නේ නැහැ. ආර්ථිකයේ පවතින අස්ථාවරභාවය ස්ථාවර වැටුපක් ගන්නා අයට දැඩි පීඩාවක් එල්ල කර තිබෙනවා. ඒ නිසා ඒ අය රැකබලා ගැනීමේ ක්‍රියාමාර්ග අපි ප්‍රමුඛත්වයේ ලා ගන්නවා. ධීවර, ගොවි, කර්මාන්ත, වතු සේවය වාගේම රාජ්‍ය සේවය යන සියලු ම අංශවල ධනය නිෂ්පාදනය කරන පිරිස්වලට ජීවිතයේ අවසානය දක්වා එකලෙසම වැඩ කළ නොහැකියි. හැම දෙනාටම සාධාරණ, තෘප්තිමත් විශ්‍රාම කාලයක් තිබිය යුතුයි. නමුත්, අපේ රටේ බොහෝ දෙනාට තිබෙන්නේ කලකිරුණු, ආහාර ලබාගත නොහැකි, ඖෂධ ලබාගත නොහැකි කටුක ජීවිතයි. ඒ නිසා සියලු ම දෙනාට සහභාගි විය හැකි දායක විශ්‍රාම වැටුපක් ලබා දීමේ ක්‍රමයක් සකසනවා. රාජ්‍ය අංශයේ සිදු කළ යුතු වැඩ කොටස සහ පෞද්ගලික අංශයේ වැඩ කොටස ඉතා හොඳින් අප තේරුම්ගෙන සිටිනවා. පෞද්ගලික අංශයේ කාර්යභාරය සාර්ථක කර ගැනීමේ දී එම සේවක, සේවිකාවන් විශාලතම කාර්යභාරය සිදු කරනවා. ඔවුන්ව රැකබලා ගන්නා, ඔවුන්ව සුරක්ෂිත කරන ආණ්ඩුව පිහිටුවන්නේ ජාතික ජන බලවේගය යි.
ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය
සැප්තැම්බර් විසි එක්වැනිදා ගොඩනැගෙන ආණ්ඩුව අනෙකුත් හැම ආණ්ඩුවකට ම වඩා වෙනස් වන්නේ ඒ නිසයි. මෙතෙක් පැවැතුණේ, වැඩකරන ජනතාවගේ ම ශ්‍රමයෙන් ගොඩනැගුණු, සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑ ආණ්ඩුයි. කඩාවැටෙන ආයතනවල, කඩාවැටෙන සමාගම්වල ආයෝජනය කර කෝටි දහස් ගණනක පාඩු සිදු කළා. නමුත්, ආයෝජනය කළ ඩීල්කරුවන් තමන් අතරේ විශාල මුදල් ප්‍රමාණයක් බෙදා ගත්තා. අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනා පනතට විරුද්ධව උද්ඝෝෂණය කළ සේවක, සේවිකාවන්ට වෙඩි තැබුවා. විශාල පිරිසක් තුවාල වී ආබාධිත බවටත් පත් වුණා. පසුගියදා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැඩිම හානිය සේවක අර්ථසාධක අරමුදලට සිදු කළා. පාලකයන් වැඩ කරන ජනතාව ගැන කල්පනා කරනවා වෙනුවට ඔවුන්ට එරෙහිව හැම වෙලාවේ ම තීන්දු ගත්තා. එයට වෙනස්ව වැඩ කරන ජනතාව ගැන කල්පනා කරලා තීන්දු ගන්න ආණ්ඩුවක් ගොඩනඟනවා. ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය සිදු කරමින්, ලංකාවේ අනාගතය ගොඩනඟන ආණ්ඩුවක් ගොඩනැඟීම සැප්තැම්බර් විසි එක්වැනිදා ආරම්භ කරනවා. එම ජයග්‍රහණය තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් සියලු දෙනාම ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.