පුවත්
කොරෝනා හැදුනා නම් අතුරු ආබාධ 200ක් !
කොවිඩ් හේතුවෙන් රෝගීවූවන් දීර්ඝකාලීනව පීඩාවිඳින පශ්චාත් රෝග ලක්ෂණ 200ක් පමණ පවතින බවත් ඒවා අතුරින් හුස්ම හිරවීම, මතකය හා අවධානය අඩුවීම මෙන්ම තෙහෙට්ටුව බහුලව දක්නට ලැබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
එම සංවිධානයේ ‘සයන්ස් ඉන් 5’ (Science in 5) වැඩසටහන සමග එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සායනික කළමනාකරුවන වෛද්‍ය ජැනට් ඩයස් මෙලෙස පශ්චාත් කොවිඩ් තත්ත්වය හෙවත් සුවය ලැබූ රෝගීන් මුහුණ දෙන රෝග ලක්ෂණ පිළිබඳව පැහැදිලි කර ඇත.
ඉහත ප්‍රධාන රෝග ලක්ෂණවලට අමතරව කතාකිරීමේ අපහසුව, සංකාව, මානසික අවපීඩනය, පේශී වේදනාව, උණ, ගඳ සුවඳ නොදැනීම, රස නොදැනීම වැනි රෝග ලක්ෂණ කොවිඩ් 19 ආසාදනය වී සුවවූ පුද්ගලයන් ආශ්‍රිතව දැකගත හැකි වන බවයි.
බොහෝ පුද්ගලයන්ට පශ්චාත් රෝග ලක්ෂණ මාස තුනේ සිට මාස නවය දක්වා කාලයක් පවතින බව වාර්තා වී ඇති නමුත් මුළුමනින්ම ඒවා සුවවනවාද යන්න පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බවද ජැනට් ඩයස් ප්‍රකාශ කර තිබේ.
මෙවැනි කොවිඩ් පශ්චාත් රෝග ලක්ෂණ වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා පුනරුත්ථාපන වෘත්තිකයන්ගේ සහ මනෝ දේශකයන් ඇතුළු සමාජයේ විවිධ ස්ථරවල තවත් විශේෂඥයන් රැසකගේ සහාය අවශ්‍ය බවද ඇය පෙන්වා දී ඇත.
– aruna
මහින්දානන්දටත් කොරෝනා ?
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
(03) දින සිදුකරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.
කෙසේ වෙතත් තවදුරටත් එය තහවුරු කරගැනීම සඳහා අමාත්‍යවරයාට අද (04) දිනයේ තවත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
අලුත්ගමගේ අමාත්‍යවරයා කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගනුලැබූවකු බවත් දැනගන්නට ඇත.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ, පසුගිය සතියේ සිට තම ආශ්‍රිතයන් වූ සියලු දෙනා නිරෝධායනයට යොමුවන ලෙසයි.
අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
තවත් මරණ 74ක් !
තවත් කොරෝනා මරණ 74ක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති අතර ඒ අනුව සමස්ත මරණ ප්‍රමාණය 4,645ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම අද දිනය තුල නව ආසාදිතයන් 2423ක් හදුනාගෙන තිබේ.
ඔවුන්ද සමගින් මෙරට හඳුනාගන්නා ලද ආසාදිත සංඛ්‍යාව 316192 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොතලාවල පනතට දුන්න : ශ්‍රීලනිප නිල සංශෝධන මෙන්න !
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පණත සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතය මේ වන විට ජනාධිපති වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
අද (03) ලිපියක් හරහා මේ දැනුම්දීම සිදුකර ඇති අතර එහිදී අදාළ පණත සඳහා මූලික සංශෝධන 4ක් යෝජනා කර තිබේ.
ඒ අනුව,
-
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා පාලනයෙන් බැහැර නොකිරීම,
-
ආරක්ෂක නිලධාරීන් නොවන උපාධි අපේක්ෂකයන් ඇතුළත්කර ගැනීමේදී Z අගය මත පදනම් වූ සාධාරණ ක්‍රමයක් පැහැදිළිව සඳහන් කිරීම.
-
රැකියාවක් කරමින් උපයන ආදායමින් ගෙවීමේ පදනමින් ණය මුදලක් ලබාදීම.
-
පාලක සභා වල සිවිල් සාමාජික සංඛ්‍යාව බහුතරයක් බවට පත්කිරීම
අදාළ යෝජනාවල සාරාංශය ලෙස දැක්විය හැකිය.
මෙම ශ්‍රීලනිප සංශෝධන ඇතුළත් ලිපිය මෙම පණත සම්බන්ධව විමසා බැලීමට පත්කළ ශ්‍රීලනිප පක්ෂ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ අත්සනින් ජනාධිපතිට යොමුකර ඇති අතර පිටපත් යොමුකර ඇත්තේ, පක්ෂ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත පමණක් වීමත් විශේෂිතය.
පහත දැක්වෙන්නේ ශ්‍රීලනිප කමිටුව ජනාධිපති වෙත යොමුකළ සම්පූර්ණ ලිපියයි.
ආණ්ඩුව අඩියක් පස්සට අරගෙන !
මේ අතර දැඩි ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන සී නිව්ස් වාර්තා කර ඇති පුවතක් මෙසේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අතර ඇතිවූ සංවාදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.
පනතට විරුද්ධව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම සුළු පක්ෂවල මන්ත්‍රීන් කිහිප දෙනෙකු ද අදහස් පළ කර ඇත.
ඒ හේතුවෙන් පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කරන බවත් එහි තීරණය එනතෙක් පනත ඉදිරිපත් නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.
ඒ අනුව මන්ත්‍රී කණ්ඩායම් හමුව විසදුමකින් තොරව අවසන් වී ඇත.
පොහොර තහනම ඉවරයි : හිටපු ආණ්ඩුකාර ජය සමරයි !
පොහොර තහනම අවසන් බවත් එබැවින් වගා හානි වූ ගොවීන්ට රජය වන්දි ගෙවිය යුතු බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සහාය දුන් සැමට ස්තුතියද පුදකරමින් ඔහු මේ සම්බන්ධව නිවේදනයක් නිකුත්කර ඇත.
හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ අදාළ නිවේදනය පහත දැක්වෙයි.
2021 අගෝස්තු මස 01 දින සිට පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීමට රජය කටයුතු කර ඇත.
පොහොර ආනයනය සඳහා පනවා තිබූ තහනම රජය විසින් ඉවත් කර ඇත. එසේ නමුත්, පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දෙන්නේ කුමණ ව්‍යාපාරිකයින්ට ද, ගෙන්වනු ලබන්නේ කුමන පොහොර වර්ග ද යන්න පිළිබඳ නිශ්චිත නැත.
ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා පොහොර ආනයනය තහනම් කරනු ලැබූ නමුත් රජය කාබනික කෘෂිකර්මය සඳහා යැයි ඉතා ග්‍රාම්‍ය ප්රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා යැයි කියමින් රු. කෝටි 8 ක ප්රචාරක ව්‍යාපාරයක් භාතිය සංතෘෂ් සංගීත කණ්ඩායම සමඟ සැලසුම් කළ අතර ජනතා විරෝධය හරහා එය අතහැර දමන ලදී.
පොහොර තහනම හේතුවෙන් වී අස්වැන්නේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇත. අතිරේක ආහාර භෝග වර්ග 11ක අස්වැන්න අඩුවී ඇතැයි පසුගිය දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. තේ පොහොර නොමැතිවීම නිසා තේ දළු අස්වැන්න අඩුවිය.
සලාක ක්‍රමයක් යටතේ පොහොර ආනයන අත්ත දුෂිත ගණුදෙනුවක් බවට පත් විය හැකිය. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර ප්‍රතිමිතියකින් යුතුව ආනයනය කිරීම සඳහා රජය පියවර ගත යුතුය ඇත. එමෙන්ම ප්‍රෝඩාකාරී පොහොර තහනම නිසා වගා හානියකට පත් පිරිසට වන්දි ගෙවීමට රජය පියවර ගත යුතු ය.
රජිත් කීර්ති තෙන්නකෝන්
2021 අගෝස්තු 3
උපාලිගේ පළිගැනීමේ කොමිසමට අතුරු තහනමක් !
නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාරට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම සිදුකර ඇති නිර්දේශ මත ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ පෙත්සම විභාග කිරීමට අවසර ලබාදෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ බී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇත.
පසුගිය ජනවාරි මස 18 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එම කොමිෂන් සභා වාර්තාවෙන් පෙත්සම්කරු සම්බන්ධයෙන් සිදුකර ඇති නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීම ද මෙම තහනම් නියෝගය මගින් වළක්වා තිබේ.
දේශපාලන පළිගැනීම් සම්බන්ධව හිටපු විනිසුරු උපාලී අබේරත්නගේ ප්‍රධානත්වයෙන් මෙකී කොමිසම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටවූවකි.
ඇමති සාකච්ඡා අසාර්ථකයි : ගුරු සටන අඛණ්ඩව ඉදිරියට !
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකව අවසන්ව ඇති බව වාර්තා වෙයි.
අද (03) පැවති සාකච්ඡාවෙන් පසුව අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයන් සඳහන් කර සිටියේ තම ගැටළුවලට විසඳුමක් සාකච්ඡාවෙන් නොලැබුණු බවයි.
එසේම විසඳුමක් නොලැබුණු බැවින් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔවුන් පවසයි.
ඒ අනුව දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන විරෝධතා රථ පෙළපාලියක් හරහා හෙට (04) කොළඹ නගරයේ කටයුතු අක්‍රීය කරන්නට කටයුතු කරන බවද ඔවුන් පැවසීය.
ලොකුගේ ගේ කතාව !
මේ අතර අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසන්නේ, ගුරු විදුහල්පති වැටුප් ඉහළ දැමීම මේ මොහොතේ කළ නොහැකි බවත් රටේ පවතින මුදල් අර්බුදය අනුව එම තත්ත්වය ඇතිවී තිබෙන බවත්ය.
ඒ අනුව ඉදිරියේ දී ඉදිරි අයවැයේ දී ඒ පිළිබඳව සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති කැබිනට් හමුවෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ගුරු විදුහල්පති ඉල්ලීම ලබාදීමට රුපියල් බිලියන 56 ක මුදලක් අමතරව යන බවත් එතරම් මුදලක් මේ මොහොතේ වැය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැති බවත් ඔහු එහිදී පැවසීය.
රසායනික පොහොර තහනමත් රිවර්ස් !
ආනයනය තහනම් කර තිබූ රසායනික පොහොර, යළිත් අගෝස්තු පළමුවැනි දා සිට ආනයනය සදහා අවසර ලබා දී ඇති බව, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද (03) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ය.
රසායනික පොහොර තහනම ආපසු හරවන්නේ නැති බව ජනාධිපතිවරයා විසින් පවසා තිබුණද, මේ වන විට එය ඉවත් කර තිබෙන බව එහිදී ඔහු පැවසීය .
මීට අදාළ ලේඛන මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.
ඒවා පහත දැක්වෙයි .
ගුරු වෘත්තීය සමිති - ඇමති : තීරණාත්මක හමුවක් අද !
සියලු ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සමඟ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ තීරණාත්මක සාකච්ජාවක් අද (03) සවස 12.30ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
එහිදී ඊයේ (02) කැබිනට් මණ්ඩලයේ දී ගනු ලැබූ තීරණ සම්බන්ධව වෘත්තීය සමිති නායකයන්ව දැනුවත් කරනු ඇති බවත් වාර්තා වෙයි.
ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දුකර තිබුනේ මූල්‍ය දුෂ්කරතාව හේතුවෙන් මේ මොහොතේ වැටුප් විෂමතා ප්රශ්නය විසඳිය නොහැකි බවය.
එසේම දැනට පවතින් වැටුප් විෂමතා ප්රශ්නය සහ ගුරු වර්ජනය පිළිබදව සාකච්ජා කෙරෙනු ඇති බවත් දැනගන්නට ඇත.
ගුරු අරගලයට රාජ්‍ය සේවයම එක්වන ලකුණු !
අති සාර්ථක වැඩ වර්ජනයක් දියත් කර ඇති ගුරු නායකයන් ඉලක්ක කොටගෙන මරණ තර්ජන කරමින් ,ආණ්ඩු හිතවාදීන් ලවා ගුරු-විදුහල්පතිවරුන්ට ‘‘කාළකණ්නියෝ’’ ‘‘ගුරු පොකුර’’ ආදී ලෙස නින්දා කරමින් කරන මේ ක්‍රියා නොඉවසන බවත්, ගුරු-විදුහල්පති ගැටළු විසඳන්නේ නැති නම්, සමස්ත රාජ්‍ය සේවයම අරගලයට ඒකරාශී වීම තුළ සිදුවන, සියළුම හානිකර තත්වයන්ට ඔබ පාලනය වගකිව යුතුයැයි සඳහන්, කරමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.
අදාළ ලිපිය ඊයේ (02) ජනාධිපති වෙත යොමුකර ඇති අතර එය පහත දැක්වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ- 01
ගුරු - විදුහල්පති ගැටළු සඳහා විසඳුම් ලබා නොදීම සම්බන්ධවයි.
මේ වන විට රටපුරා ගුරුවරුන්, විදුහල්පතිවරුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹ ඇති බව සැවොම දන්නා කරුණකි. දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුන වැටුප් විෂමතා ගැටළුව ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් ගෙන ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළුව ක්ෂේත්රයට සිදුව ඇති බලපෑම අති විශාලය.
තත්වය මෙසේ තිබියදී ආණ්ඩුව ගැටළු සඳහා විසඳුම් ලබා දීම වෙනුවට කල්මැරීමේ හා සටන දියකර හැරීමේ අරමුණින් කටයුතු කරනු දක්නට ලැබේ. එය එසේ සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය ද ඇතුළු සියළු පාර්ශව එම ඉල්ලීම්වල ඇති සාධාරණත්වය පිළිගන්නා අතරමය. එය ඔබ පාලනයේ දෙබිඩි පිළිවෙත හෙළිදරව් කිරීමකි.
ගුරු - විදුහල්පතිවරුන් මෙම සටන ආරම්භ කළේ මීට බොහෝ කලකට පෙරය. ඔබ ආණ්ඩුව යටතේ ද ඔවුන් ක්‍රියාමාර්ග වෙත එළැඹියේ #කොරෝනා වසංගතය ආරම්භ වීමටත් පෙරදීමය. එසේ තිබිය දී ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන්ද, මාධ්‍ය බලයද, ආණ්ඩුවේ හෙන්චයියන්ද යොදා ගනිමින් ගුරු-විදුහල්පතිවරුන් ‘‘කාළකණ්නියෝ’’ ‘‘ගුරු පොකුර’’ ආදී ලෙසින් ඔවුන්ට නින්දා කිරීම පිළිකුල් සහගතව හෙලා දකිමු.
එසේම වෘත්තීය සමිති නායකයින් හට මැරයින් යොදවා මරණ තර්ජන කරමින් විවිධ ආකාරයෙන් මර්දනය දියත් කිරීම ද අප නොඉවසමු.
මෙම තත්වය තුළ මෙම අරගලය ඉදිරියට ඇදී යාමට ඉඩ හැරීම තුළ සිදුවිය හැකි හානිය බරපතලය. එබැවින් අරගලයට ප්රවිශ්ට වී ඇති පාර්ශවයන් වෙත පිළිගතහැකි විසඳුමක් ලබා දීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතුය. නොසේනම් ගුරු - විදුහල්පතිවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත්, සමස්ත සිසු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙනුත්, දෙමාපියන් ලෙස තම දරුවන් වෙත අධ්‍යාපන ලබා දීමේ ඇති අභිලාශය වෙනුවෙනුත් අප රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් ද මෙම සාධාරණ අරගලය හා පෙළ ගස්වන්නෙමු.
සමස්ත රාජ්‍ය සේවයම නියෝජනය කරන වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙසින් එම අයිතිය හා වගකීම අප සතුව ඇත.
එමනිසා මතුව ඇති තත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබමින් වහා ගුරු - විදුහල්පති ගැටළු විසඳන ලෙසට යළිත් සිහිපත් කරන අතර එසේ නොවන්නේ නම් සමස්ත රාජ්‍ය සේවයම අරගලයට ඒකරාශී වීම තුළ සිදුවන සියළුම හානිකර තත්වයන්ට ඔබ පාලනය වගකිව යුතු බවද අවධාරණය කරමු.
ස්තුතියි.
මෙයට, කේ. ඩී. ලාල්කාන්ත
සභාපති ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය.
තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වෙයි
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වී තිබේ.
ඒ අනුව කාන්තාවන් 36 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.
එමෙන්ම වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 17 දෙනෙකු සිටින අතර ඉතිරි 46 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.
ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 4,571 දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 67 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 13වන ස්ථානයේය.
රනිල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමා සම්බන්ධයෙන් ලබා දී ඇති අවසන් නිර්දේශ බල රහිත කරන රීට් අඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අභියාචනාධිකරණයට (02) පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා ජනාධිපති ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.
එම කොමිසමේ වාර්තාවෙහි 17-21 පිටු වල තමා සම්බන්ධයෙන් ඇති නිර්දේශ සහ සොයාගැනීම් ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායකවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.
විදානපතිරණ නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ එම කොමිසම විසින් විමර්ශන කටයුතු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ කියා ඇත්තේ මෙම කොමිසම විසින් සාක්ෂි දීම සදහා තමන් ට කැදවීම් කළ අතර ඒ අනුව 2020වසරේ සැප්තැම්බර් 04දින එහි පෙනී සිටි බවත් ,විත්තිකරු වකු ලෙස නොව සාක්ෂි කරුවකු ලෙස තමන් ට සලකන බව එම කොමිසම දැනුම් දීම නිසා තමන් ට එරෙහිව සොයාගැනීම් සහ නිර්දේශ එම කොමිසමෙ හි වාර්තාව ට ඇතුළත් නොවනු ඇති බවට සාධාරණ අපේක්ෂාවක් තිබුණු බව පෙත්සමෙහි සදහන් වේ.
මහ බැංකු අධිපතිගේ අර්ථික විද්‍යාවට ‘මාන්දම හැදිලා‘ ආර්ථික ඝාතතකයින්ගෙන් ආර්ථික විද්‍යාඥයින් බණ අහනවා
ලංකාවේ වැඩිම වැටුප් ලබන බුද්ධිමතුන්ගේ ආයතනයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයින්ට ආර්ථික ඝාතතකයින්ගේන් බණ අහන්නට සිදුව ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසයි.
‘‘මහ බැංකු අධිපතිවරයා පසුගිය ජූලි 27 දින දෙරණ හයිඩ් පාර්ක් වැඩසටහනට පැමිණ ගජබින්නාලංකාරය ගායනා කළා. මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් මහ බැංකු අධිපතිවරයා ගේ ප්‍රකාශ ගැන විමතිය පළ කරනවා. වෘත්තිකයින්ගේ දැනුම පැත්තක තියලා, මහ බැංකුව ආර්ථික ඝාතකයින්ගෙන් බණ අහනවා.‘‘ මහ බැංකු සාක් පහසුකම යටතේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක් ලබා ගැනීමට කටයුතු කරනවා කියලා. මහ බැංකුවේ නිලධාරීන් පැහැදිලිව කියනවා ඉන්දීය රජය ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ දිගු කාලීන වැඩසටහනකට යොමු විය යුතු යැයි උපදෙස් දී ඇති බව.
ලංකාව ලෝකය පුරා දැන් හිඟමනේ යනවා. බංගලි දේශයේ ලංකාවට ඩොලර් මිලියන 200 ක් ලබා දෙන බවට ප්රවෘත්ති පළ වී දැන් මාසයකට වැඩි කලක් ගෙවී ගිහින්. අඩුම ගානේ බංගලිදේශ - ලංකා නිලධාරීන් මේ ගැන මුලික කෙටුම්පතක් වත් සකස් කර නෑ.
ආණ්ඩුව කරන්නේ කොළඹ වටිනාම ඉඩම් ටික විකුණන්නට හදන එක. හමුදා මුලස්ථානය විකුණුවා. දැන් ගුවන් හමුදා මුලස්ථානයත්, චාමර්ස් ධාන්යගාර ඉඩම විකුණන්නට හදනවා. කොළඹ විකුනන්නට සුදානම් කරපු ඉඩම් 30 කට පමණ මේ දවස්වල ආණ්ඩුව ගණුදෙනුකාරයෝ හොයනවා. ඉඩම් විකුණලා කන්න දෙන්න ආර්ථික විද්‍යාවක් අවශ්‍ය නෑ. නාස්තිකාර පුත්තු - දුවලත් ඒක කරනවා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරකයෝ ආර්ථික විද්‍යාඥයින්ට තැනක් දෙන්නේ නෑ. රටේ ආර්ථික විනාශ කරන්නේ ‘බ්රෝකර්ලා‘ ටිකක් එකතු වෙලා.
දැන් කඩවල්වල විදේශයන්ගෙන් ගෙනාපු බඩු විතරක් නෙවෙයි, ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ. රට පුරාම රෝහල්වල දියවැඩියාව, පිළිකා, අතුළු රෝගවලට අත්‍යවශ්‍ය ඖෂධ නෑ.
පොහොර ගෙන්වන්න ඩොලර් නැතිව කාබනික වගාවක් ගැන සුරංගනා කථා කිව්වා. දැන් නැගෙනහිර පලාතේ ගොයම් කපනවා. මෙවර වී අස්වැන්න අඩුවෙලා කියලා ගොවියෝ මැසිවිලි නගනවා. රටේ සාගතයක් අත ලඟටම ඇවිත් තියෙනවා. මේ යල කන්නයේ අතිරේක ආහාර භෝග 11 ක අස්වැන්න අඩුවෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා. සෞභාග්‍යය කෙසෙවෙතත් දැන් සාගතය නම් හැම ගමක් - නගරයකටම එමින් තියෙනවා.
ගෑස් සමාගම් බංකොළොත් වෙලා. ලෝකයේ කොයි රටේද ඉන්ධන සමාගම් බංකොලොත් වෙන්නේ. ලංකාවේ විතරයි. ගෑස් ගේන්න ඩොලර් නෑ. ගෑස් පාර්භෝගිකයෝ ලක්ෂ 19 ක් ගෑස් හොය හොයා ඇවිදිනවා.
බොර තෙල් මිලදී ගන්නට ඛනිජ තෙල් සංස්ථාව කැඳවපු බොරතෙල් ටෙන්ඩර් දෙකට එකම ගැණුම්කරුවෙකු වත් ආවේ නෑ. දැන් වැඩි මිලට සිංගප්පුරුවෙත් ඩීසල් පෙට්‍රල් මිල දී ගන්නවා. ඩොලර් නැතිව ලග දී ම රටම අවුලකට පත් වෙනවා.
COVID-19 සෞඛ්‍ය තත්ත්වය දැනගන්න Self Shield ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමක් කිරීමේ අරමුණීන් ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක් හදුන්වා දී ඇති අතර, එය සෙල්ෆ් ෂීල්ඩ් (Self Shield) “කොවිඩ් 19 ට එරෙහි ස්මාර්ට් පලිහ” යනුවෙන් හදුන්වනු ලබයි.
මෙම ජංගම දුරකථන යෙදුම භාවිතයෙන් පරිශීලකයන්ට COVID-19 ට අදාලව තම සෞඛ්‍ය තත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතර, පමා නොවී හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උපකාරී වේ.
විනාඩි කිහිපයකින් තමන්ගේ සෞඛ්‍යය තත්වය තනිවම පරීක්ෂා කර බැලීමට මෙම යෙදුම මගින් හැකි වන අතර, පරිශීලකයාගේ පෙනහළුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්, තමන්ගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ පරීක්ෂණ වාර්තා ලබාගැනීමටත් එම වාර්තා තුලින් ලැබෙන උපදෙස් අනුව, පරිශීලකයාට පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටත් කටයුතු කල හැක.
තවද පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම සමඟ බෙදා ගැනීම සඳහා ‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 වැඩසටහනට ඇතුළත් වීමට පරිශීලකයින්ට මෙම යෙදුම මඟින් ඉඩ ලබා දේ. වෛද්‍ය කණ්ඩායම විසින් මෙම පිරික්සුම් වාර්තා ස්වයංක්‍රීය ක්‍රියාවලීන් මගින් ඇගයීමට ලක් කරනු ඇති අතර ක්ෂණික වෛද්‍ය උපකාර අවශ්‍ය පරිශීලකයින්ට අවශ්‍ය සේවාවන් ලබා දෙනු ඇත. එම නිසා, යෙදුම භාවිතා කිරීමෙන්, ශ්‍රී ලංකා පුරවැසියන්ට COVID-19 නිසා ඇති වන බරපතල සංකූලතා වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳව සොයා බැලීමට සහ ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වේ.
ඩිජිටල් සෞඛ්‍ය පිළිබද පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරුතාක්ෂණ සංගමය (HISSL) හි මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ මෘදුකාංග ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් සෙල්ෆ් ෂීල්ඩ් යෙදුම නිපදවන ලදී.
එය ප්‍රථම වරට 2020 ජූලි මාසයේදී පළමු වරට නිකුත් කරන ලද අතර දැන් එය Google සහ Apple යෙදුම්හල් (App Stores) හරහා ලබා ගත හැක. යෙදුම බාගත කිරීම සඳහා, අදාළ යෙදුම්හල වෙත ගොස් ‘Self Shield’ ලෙස ටයිප් කර යෙදුම සොයා ගත යුතුය. පසුව, යෙදුම ස්මාර්ට් ජංගම දුරකතනයේ ස්ථාපනය කිරීම අවශ්‍ය වේ. ගිණුම සුරක්ෂිත කිරීම සඳහා පරිශීලකයා ලියාපදිංචි විය යුතුය. මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, පරිශීලකයාගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සහතික කරයි.
මුට්ටි ගගට දාලා - පැණි පොවලා එන්නත් ගෙන්වීම ප්‍රමාද කළ ආණ්ඩුව කොරෝනාවෙන් මිය ගිය ජීවිත 4300ට වග කිව යුතුයි - මනුෂ
කොරෝනා එන්නත ඇණවුම් කළ යුතු නිසි වේලාවේදී එන්නත ඇණවුම් නොකර පැණිය පිටුපස යමින්, මුට්ටි ගගට දමමින් ජනතාව රැවටූ ආණ්ඩුව, කොරෝනා නිසා මිය ගිය 4300කට වැඩි මිනිස් ජීවිතවලට වගකිව යුතු යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් යන අවස්ථාවේදී පළාත් සංචරණ සීමාවන් ඉවත් කරමින් ආණ්ඩුව මිනිස් ජීවිතවලට ලංසු තබමින් සිටින බවද ඔහු පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
''එන්නත්කරණයෙන් ලෝකයේ පළමු තැනට ඇවිත් තියෙනවා කියලා රජය කියනවා. කොරෝනා නිසා මිය ගිය අයගෙන් සියයට හැටකටම එන්නත් ලැබී නැති බව සෞඛ්‍ය ඇමැතිනිය කියනවා.
ලෝකයේ බොහෝ රටවල් එන්නත්කරණයෙන් සියයට හැටක් අවසන් වුනාට පස්සේ තමයි ආණ්ඩුව එන්නත් ඇනවුම් කරන්න ගත්තේ. ඒ වෙනකම් ගංගාවලට මුට්ටි අතහැරියා. කෑගල්ලේ පැණියක් ප්‍රවර්ධනය කළා. අද එන්නත් කිරිමට තියෙන පෝලිමට වඩා වැඩි පෝලිමක් පැණිය ගන්න තිබුණා. නිලධාරීන් නිල ඇදුමින් ගිහින් පැණි අරගත්තා.
පැණි ප්‍රවර්ධනය කරලා, මුට්ටි ගගට දාලා මිනිස්සු රවට්ටන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. මිනිස්සු රැවැට්ටුවට කොරෝනා රවට්ටන්න බැරිවුනා. මේ වගේම ගගෙන් නයි අරගෙන ඇවිත් මිනිස්සු රැුවැට්ටුවා. හැබැයි කොරෝනා රවටන්න ගිහින් ආණ්ඩුවම රැුවටුනා.
ඇමැතිතුමිය මුට්ටි ගගට දැම්මා. මහාචාර්යවරයා පැණිය ප්‍රවර්ධනය කරන්න ගත්තා. තවත් අය නොයෙක් නොයෙක් දේ ගැන කතා කරන්න ගත්තා. මේ නිසා ජීවිත හාරදහස් තුන්සියයකට වැඩියෙන් ජීවිත අහිමිවුනේ.
මුල් දවස්වල එක් කොරෝනා මරණයක් වන විට ජනතාව තැති ගත්තා. දවසට මරණ පනහ හැට වාර්තා වන විට අද ඒක ගැන කිසිම කතාවක් නෑ. අද මිනිස්සු හාරදහසට වඩා වැඩියෙන් මැරුණේ නිසි වෙලාවට ආණ්ඩුව එන්නත් ගෙනාවේ නැති නිසයි.
දැන් දවසකට එන්නත් ලක්ෂ පහක් ගහලා ඒක මහ ලොකු වීර ක්‍රියාවක් වගේ කියනවා. මේ රටේ සෑම පුද්ගලයෙක්ටම ගහන්න පුලුවන් එන්නත් ටික ආණ්ඩුව ගෙනැත් දුන්නොත් එක දවසින් මේ එන්නත්කරණය කර අවසන් කිරීමට හැකි තරම් හැකියාවෙන් යුත් සෞඛ්‍ය සේවයක් අපේ රටේ තියෙනවා.
අපේ රටේ ප්‍රජා සෞඛ්‍ය සේවය ඉතාමත් කාර්යක්ෂමව වැඩ කළ සෞඛ්‍ය සේවයක්. රටේ යුද්ධයක් තිබියදී, එක දවසකට යුද්ධය නතර කරලා රටේ හැම තැනම පෝලියෝ එන්නත එක දවසින් දුන්න සෞඛ්‍ය සේවයක් අපිට තියෙනවා. අද මේ සෞඛ්‍ය අංශ, ඇතුළු සියලු දෙනාට එකතු වුනොත් එක දවසින් එන්නත ගහලා ඉවර කරන්න පුලුවන්. ප්රශ්නය වෙන්නේ එහෙම ගහන්න එන්නත් නොමැතිවීමයි.
අපි එන්නත් මෙච්චර ගැහුවා කියලා උදම් අනන එක නෙමෙයි ප්‍රශ්ණය. එන්නත් ගෙනාපු නැති එක තමයි ප්‍රශ්ණය. කලට වෙලාවට එන්නත් ගෙනාපු නැති එක තමයි ප්‍රශ්ණය. අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න වෙලාවට එන්නත් ඇනවුම් කරන්න තිබුණා. ඒ විදියට හරි වෙලාවේ එන්නත් ඇනවුම් නොකර මුට්ටි පස්සේ ගියපු නිසා තමයි ජීවිත හාරදහසකට වඩා නැතිවෙලා තියෙන්නේ.
එන්නත්කරණය සිදුකරන සෞඛ්‍ය අංශවලට, ආරක්ෂක අංශවලට අපේ ස්තුතිය පුද කරනවා. මුට්ටි ගගට දාන්නේ නැතිව, පැණි පොවන්නේ නැතිව දැන් හරි විද්‍යාව පැත්තට ආපු එක ගැන අපි ස්තුතිවන්ත වෙනවා.
හැබැයි රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න කියලා රට වැහුවේ නැහැ. මේ දූපත් රටට වෛරසය ඒම වලක්වාගෙන හරි වෙලාවට එන්නත්කරණය කළා නම් රට බේරාගන්න තිබුණා. ඒ පියවර නොගත් නිසා මිනිස් ජීවිත හාරදහස් ගණනකින් වන්දි ගෙවීමට සිදුවුනා.
අද වන විට ඩෙල්ටා ප්රභේධය භයානක ලෙස පැතිරෙමින් යනවා. දවස් දෙකට එකසිය තිස් දෙදෙනෙක් මිය යන විට සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැදවනවා. ඒ අනුව ගැබිනි මව්වරුන්ට සේවයට පැමිණීම වලක්වමින් නිකුත් කළ චක්‍රලේඛය පවා අහෝසි වෙනවා. ගැබිනි මව්වරුන්ට තවම එන්ත්කරණය අවසන් කර නැහැ.එහෙම තිබියදී ගැබිනි මව්වරුන් සේවයට කැදවනවා. ආණ්ඩුව දැන් මේ ජීවිතයත් මරණයත් අතර සෙල්ලමක් කරනවා.
කොරෝනා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබියදී සංචරණ සීමා ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරන්නේ මොකද කියලා අපිට හිතාගන්න බැහැ. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන නිසා තමයි මේ රට අරින්නේ. කොරෝනා වංසගතය පටන්ගත් දවසේ ඉදලා ගත යුතු ක්‍රියාමාර්ග නොගෙන දැන් තමයි ආණ්ඩුව විවිධ පියවර ගන්න හදන්නේ. ආර්ථිකය වෙනුවෙන් ජනතාවගේ ජීවිතවලින් ආණ්ඩුව ලංසු තියනවා''
පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයටත් කොරෝනා
පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල පැවසයි.
එම කාර්යාලයේ ස්ථානාධිපතිවරයාට සහ ලියුම් බෙදන්නෙකුට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අහඹු පී.සී.ආර් පරීක්ෂණය සිදු කර තිබේ.
අනතුරුව ප්‍රධාන තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ගනු ඇතැයි වෛද්‍යවරයා පැවසීය.
පිලියන්දල තැපැල් කාර්යාලයට අනුබද්ධ උප තැපැල් කාර්යාල කිහිපයක්ද කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
ගුරු - විදුහල්පති රාජකාරියට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරයි
රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නික්තු කර ඇති චක්‍රලේඛයකට අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන්ට විදුහල්පතිවරුන්ට සහ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට දන්වා ඇත.
ඒ කෙසේ වෙතත්, ගුරු – විදුහල්පති සංගම් 14 ක් ලිපියකින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ ඔවුන් පාසල්වලට පැමිණීමෙන් වැලකී සිටින බවයි.
ගුරු – විදුල්පතිවරු විසින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව ඇති තත්ත්වයක් යටතේ එම තීරණය ගෙන ඇති බව අදාල ඒකාබද්ධ ලිපියෙන් දැනුම් දී තිබේ.
මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාලව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හෙට(02) ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දී ඇති බවට මීට පෙර ලේකම්වරයාට දැනුම් දුන් බව ද එහි සදහන් වේ.
ඒ අනුව, ලේකම්වරයා විසින් නිකුත් කර ඇති සේවයට කැඳවීමේ චක්‍රලේඛයට අනුව ගුරුවරුන් පාසල්වලට නොපැමිණෙන බව වෘත්තීය සංගම් සිය ලිපියෙන් අවධාරණය කරයි.
මේ අතර විදුහල්පති ශ්‍රේණිධාරී සංගමය ද සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ලේකම්වරයාට දන්වා ඇත.
ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 22 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
ඉතාමත් හදිසියේ ගුරුවරු, විදුහල්පතිවරු පාසල්වලට කැඳවමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව අද දින කිසිඳු ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු සේවයට වාර්තා නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරයි.
අද දිනය සේවයට වාර්තා නොකිරීම නිසා කිනම් හෝ ගැටලුවක් මතුවන්නේනම් ඒ ඕනෑම ගුරු – විදුහල්පතිවරු වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සඳහන් කරයි.
තවත් මරණ 67 ක් : ඉදිරි මාස දෙක දැඩිව අවදානම් - විශේෂඥ මතය !
ඊයේ (31) කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කර ඇත.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇතැයි වෛරසයවේදය පිළිබඳව ලෝක ප්‍රකට මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි.
ඒ, පසුගියදා ජාතික විද්‍යා පදනම කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු හොංකොං විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය මලික් පීරිස් මෙසේද පවසා ඇත.
"නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව තුළ මහා විනාශයක් කළා. ඒ වගේම මට කියන්න සිද්ධ වෙනවා එළඹෙන සති කිහිපයේදී එය ශ්‍රී ලංකාව තුළත් විශාල බලපෑමක් ඇතිකරනු ඇති බව. මහජන සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මම මගේ රාජකාරිය පැහැරහැරියා වෙනවා මම අනතුරු මේ ඇඟවීම කළේ නැත්නම්. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේදී මෙතෙක් මුහුණ දුන් නරකම තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම ආණ්ඩුවට සහ මහාචාර්ය ජයසුමනට සුබ පතනවා එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම ගැන, එය ඉතාම හොඳින් සිදුවනවා. එසේ වුණත් ඔබ දන්නා පරිදි එන්නතේ මාත්‍රා දෙකම අත්‍යාවශ්‍යයි මේ ප්‍රභේදයට එරෙහිව සැළකිය යුතු බලපෑමක් කරන්න. ඉදිරි මාසය හෝ මාස දෙක තුළදී එන්නත්කරණය නිසා අපිට ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ජනතාවට මේ ගැන හොඳින් උපදෙස් ලබාදී ඇති බව."
ගුරු සටනට ආණ්ඩුවෙන් දූස්රාවක්!
මෑත ඉතිහාසයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකළ, එමෙන්ම පාට කණ්නාඩි ඉවතලා දකින කියවන ඕනෑම කෙනෙක්ට දැකිය හැක්කේ අති සාර්ථක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් බවය.
මරණ වරෙන්තුව අතේ තියන් ගුරුවරු ඇයි වීදි සටන්….?
ලොවම වෙලාගත් කොරෝනා වසංගතය සීඝ්රයෙන් පැතිරෙද්දීත් ගුරු සටන් නිෂ්චිත මොහොතේ කිසිසේත්ම නුසුදුසු, අනුවන හා ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවක් බව,සමාජගත කිරීමට වත්මන් ආණ්ඩුව හා ආණ්ඩුවට හිතවාදී මුද්‍රිත,විද්‍යුත් හා සමාජ මාධ්‍ය ජයටම ක්‍රියාත්මක වන මොහොතේ සැබවින්ම ගුරු සටන කාලෝචිතද යන්න විමසා බැලීමට තරම්ද?
වසර 24ක් පුරාවට රටක අනාගත පරපුරේ නිහඬ නිර්මාණයට පණ පොවන ගුරුවරුන්ගේ ජීවන අරගලයේ සඟවන අඳෝනාව පුපුරා යමින් අද එය වීදි සටනක්ව බුර බුරා නගින ගිණිදළු මෙන් රට පුරා ඇවිලෙද්දී ඕනෑම ආණ්ඩුක් ඉන් සලිත වීම සාමාන්‍යය තත්වයක් උවද මෙවර එය තීවෘ ව්ප්ලවයක් වෙමින් පැවතීම පීඩිත සමාජයේ පුපුරා යෑමේ ප්රතිඵලයකි.
සියලු වෘත්තීන් හා සේවා පවත්වාගෙන යනු ලබන්නේ ජීවත් වීම හා යහපැවැත්ම පිණිසවන අතර පවතින දැඩි ආර්තික දුෂ්කරතා හමුවේ තවදුරටත් දෛනික ජීවන චක්‍රය හා ඔට්ටුවීමට නොහැකිවන බව හැඟෙන විට, සාමාන්‍යය ජීව්න රටාව තුළ නොනැසී පවතින්නට නොහැකිබව ක්‍රමයෙන් සංවේදනය වීමත් සමගම එකී පැවැත්ම උදෙසාම අරගල කිරීම අරගලයන්ට ස්වභාවිකවම එක් වීම සමාන්‍ය කරුණකි… එනිසාවෙන්ම මෙවර ගුරු අරගලයට රිවස් ගියර් නොමැත, තිරිංග සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිතය, අරමුණු සාක්ෂාත්වන තුරුම දිශානතිය කරා ගමන් කරණු ඇත..
මෙහිලා සුවිශේෂීම කරුණ වන්නේ මරණය එළිපත්තටම ආ බව දැන දැනත් වසංගතයේ ගොදුරක් වීමේ ජීවිත අවදානම සහිතව ගුරු අරගලයට පණ පොවන සියල්ලෝම තම ජීවිත මෙන්ම තම සමීපතමයන්ගේ ජීවිත අවදානම පිළිබඳ අවබෝධයෙන් වසර 24ක් පුරා තට්ටුමාරුවට කල්මැරූ ගැටලුවට විසඳුම් ලෙස අවසන් සටනට පෙළගැසීමය..
පී. බීගේ සේවයට කැඳවීමේ ලිපිය ගුරු සටන් මැඩීමටද…?
ඉතිහාසයේ කිසිම දිනක දේශපාලනිකව හෝ මෙහෙයවීමට නොහැකි වූ අරගයලක් ලෙස සමාජ අභ්‍යන්තරයෙන්ම පුපුරා නැගෙන ගුරු අරගලයේ ගිණි දළු වලට නොව පැතිරෙන රශ්මියට බිය වූ වත්මන් ආණ්ඩුව ජන ජීවිත අනතුරේ හෙළමින් සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍යය ලෙස, ලහි ලහියේ සේවයට කැඳවන්නට අර අඳින්නේ තවදුරටත් ගුරු සටනට මුහුණදීමට ඇති නොහැකිව මතය.
මෙය සාධාරණ අරගලයක් බව ඕනෑම සිහිබුද්ධියක් ඇති පුරවැසියකුට වටහාගත හැක, මක්නිසාදයත් පසුගිය මැතිවරණයේ සමස්ත තැපැල් චන්ද 80%ක පමණ ප්‍රතිශතයක් භාවිතා කළේ වත්මන් ආණ්ඩුවටය… එකී ආණ්ඩුවේ ප්රමුඛ පොරොන්දුවක් නම් 24 වසරක්වූ ගරු විදුහල්පති වැටුප් විෂමතාවට සැබෑ පිළිතුරු ඔවුන් සතුබවත්, එය ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයයේ දැක්ම බවත්ය.
ඔන්ලයින් සංකල්පය කාගේද…..?
ලොව පුරාම සියලුම රටවල් උද්ගත වසංගතයෙන් කාඩාවැටුන අධ්‍යාපනය නගා සිටුවීමට ඔන්ලයින් පහසුකම්,ඇතිකරමින් ගුරුවරුන් දිරිමත්කරමින් සාධනීය ක්‍රියාවන් මගින් දරුවන්ගේ අනාගත සුරක්ෂිත කරද්දී, වත්මන් රජය ජනාධිපතිගේ පෞරුෂය වර්ධනය පිණිස රූපවාහිනී නාළිකා ආරම්භ කළහ….. නොහැකියාව වසාගනිමින් තවදුරටත් මිත්‍යාවෙන් ජනතාව මුළාකිරීමට මාධ්‍ය භාවිතා කළද කිසිසේත්ම ජනතා සංක්යාත වලින් එක් පැයක් හෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් නොකළ ආණ්ඩුව අද ගුරුවරුන්ට නිර්දය විවේචනයන් ඉදිරිපත් කරණුයේ තම පෞද්ගලික වියදමි ඔන්ලයින් අධ්‍යාපනය මේ දක්වා පවත්වාගත් නිසාවෙන්ද..?
සැබෑ විප්ලවයන් මර්ධනයෙන් යටපත්කළ හැකිද?
සියළු කැපකිරීම් කරමින් වේතනයට එහාගිය සේවයක් සපයන ගුරුවරුන් අද වීදි බැස කරන සටන් කිසිසේත්ම ආණ්ඩුවේ කූට උපායන් වලින් හෝ මර්ධණයෙන් නැවැත්විය නොහැක, මක්නිසාදයත් ආණ්ඩුවේ අධ්‍යාපනය මිලිටරිකරණය මෙන්ම සාධනීය කරුණු රාශියක් අරඹයා පංචමහා බලවේගයන් ක්‍රමයෙන් එක්වන රිවස් නොමැති බ්රේක් නොමැති අරගලයක් ලෙස එය ඔඩුදුවා අවසන් නිසාවෙනි. පාලකයන්ට ගුරු සටන් අභිමුවේ පියවරක් පසු බසිමින් දණ නමන්නට සිදුවීම කිසිසේත්ම වලකාගත නොහැක.
සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.
Page 426 of 444