සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක වේ .
කෙසේවෙතත් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ, මේ වන විට ගම්බිම් බලා යන ජනතාවගෙන් 90% ක් පමණ කොළඹින් පිටත්ව ගොස් අති බවයි.
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත යන ප්‍රධාන බස් පර්යන්තවලින් මෙන්ම මාකුඹුර කඩවත යන අධිවේගී මාර්ග ප්‍රධාන බස්නැවතුම්පොළවලින්ද විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක කර තිබේ.
විශේෂයෙන් මාතර, ගාල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, හැටන්, මොනරාගල අම්පාර හා ඇඹිලිපිටිය යන ප්‍රධාන නගර සඳහා අතිරේක බස්රථ යොදවා ඇති බව දැනුම් දී තිබුණි.
අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම, බදුල්ල, මොනරාගල, අම්පාර හා ඇඹිලිපිටිය යන ප්‍රදේශ සඳහා ද බස් රථ යොදවා ඇත.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇති අතර ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර 40 ක් ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම අප්‍රේල් මස 09වන දා සිට 21 වනදා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇත.
ඉහත කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර 1955 ක්ෂණීක දුරකතන අංකය සහ 0712 595 555 වට්ස්ඇප් අංකය මගින් මගී ජනතාවට සම්බන්ධ විය හැකි බවද කොමිෂන් සභාව සඳහන් කළේය.
එසේම ජාතික ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම් සඳහා 1971 කෙටි දුරකතන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියාව පවතී.