Language Switcher

Ad

Ad 01

V2025

හොර නම්බර් ප්ලේට් ජීප් එක ලොහාන්ගේ එකවුන්ට් එකට දාන්න හදපු ගාල්තැන්නේ කපුවා රිමාන්ඩ්

තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප්රිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය කලක් මහත් ජනප්‍රියතාවට පත්ව සිටි රත්තරන් පොරවාගත් ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා ගාමිණි ආනන්ද සැකපිට අත්අඩංගුවට ගත්තේ ය.

ඔහු ඊයේ (නොවැ. 3) තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

1997 ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම ජීප් රිය දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ තිබී තෙල්දෙණිය පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම එම නිවසට යාබද පදිංචි දේවගැතිවරයාගේ ඥාති පුතෙකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර ඉන් අනතුරුව දේවගැතිවරයාගෙන් ද ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.

එහිදී දේවගැතිවරයා පවසා ඇත්තේ, එම රථය මීට සති කිහිපයකට පෙර වෙඩි තබා ගෙන මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම ස්ථානයට ගෙනැවිත් දැමූ බව ය.

ඒ අතර, විමර්ශන නිලධාරීන් එම රථයේ අංක තහඩුව සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඇති අතර එහිදී අනාවරණය වන්නේ, එම අංකය සහිත ලියාපදිංචි වූ තවත් ජීප්රියක් මහනුවර, පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත්ව ඇති බව ය.

එමෙන් ම, එම රථය නිත්‍යනුකූලව ලියාපදිංචි කර ඇති බව ත් ය.

ඒ අනුව, විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගත්තේ නිත්‍යනුකූල ලියාපදිංචි අංකය භාවිත කරමින් එම ප්‍රාඩෝ රථය ද ධාවනය කර ඇති බව ය.

එමෙන් ම, එම රථය මීට සති කිහිපයකට පෙර ඔහුට ලබා දී ඇති බව දේවගැතිවරයා ප්‍රකාශ කළ ද විමර්ශනවලදී සැක කරනුයේ එම රථය වසරකට වැඩි කාලයක් දේවගැතිවරයා සන්තකයේ තිබූ බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් දේවගැතිවරයා අත්අඩංගුවට පත්වන අතර ඔහුගේ ඥාති පුතාගෙන් ද දීර්ඝ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.

මූලික පරීක්ෂණයේදී සිදුකළ ප්‍රකාශ අනුව, මෙම වාහනය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා වෙත සැක සංකා එල්ල වුවද දිගින් දිගට ම සිදුකළ විමර්ශනයේදී එම රථය දේවගැතිවරයා සන්තකයේ කලක සිට තිබී ඇති බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, මෙම රථය එකලස් කළ එකක් ද එහි චැසි අංකය, එන්ජින් අංක, සම්බන්ධයෙන් වාර්තාවන් කැඳවා ඇති අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සහ රසපරීක්‍ෂක ආයතනය ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

දේවගැතිවරයා ඇතුළු පවුලේ උදවිය මෙම රථය භාවිත කර ඇති බව පොලිසියට නිල නොවන තොරතුරු ලැබී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, අදාළ වාර්තා ලැබීමෙන් පසු එම රථයේ හිමිකරු කවුරුන් ද යන්නත් එය පාවිච්චි කර ඇත්තේ කවුරුන් ද යන්නත් නිශ්චිතව තහවුරු කරගන්නා බව ය.

රන් කිලෝ 5ක පමණ ප්‍රමාණයක් පැලඳ සැරිසරන මෙම දේවගැතිවරයා කලක් සමාජ මාධ්‍ය ජාලවල මහත් ප්‍රසිද්ධියට පත්ව සිටි අතර ගාල්තැන්න ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දේවාලයටද විශේෂ පොලිස් ආරක්ෂාවක් පවා ලබාදී තිබිණි.

තවත් එකලස් කරන ලද වාහන කිහිපයක් සම්බන්ධයෙන්ද ලැබූ තොරතුරු මත තෙල්දෙණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ ගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.

(mawbima.lk)