Language Switcher

Ad

Ad 01

V2025

ශ්‍රී ලංකාව මේවන විට නව ආර්ථික යුගයකට !

ශ්‍රී ලංකාව මේ වන විට නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටින බවත් ලබන වසර මැද භාගය වන විට මෙරට ආර්ථිකය මීට වඩා දියුණු තත්ත්වයකට පත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර දිස්ත්‍රික් වෙළඳ සංගම් නියෝජිතයන් සමඟ හමුවකට ඊයේ  (10) මහනුවරදී එක් වෙමිනි.

ව්‍යාපාරවලට බලපා ඇති නීති රෙගුලාසි බොහොමයක් ලිහිල් කිරීමට කටයුතු කරන බවත් ව්‍යාපාරිකයන්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට කටයුතු කරන බවත් පැවසු ජනාධිපතිවරයා පළාත්වල ආර්ථික බලය විමධ්‍යගත කිරීම සඳහා පළාත් ආර්ථික සංවර්ධන මණ්ඩල පිහිටුවීමට සැලසුම් කර ඇති බවද කියා සිටියේය.

මහනුවර මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානක් ලෙස ගොඩනැඟීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා එම වැඩසටහන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට මහනුවර සිංහල, දෙමළ මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

සිය ව්‍යාපාර ගැටලු මෙහිදී එම නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ අතර ඔවුන්ගේ යෝජනාවලියක් ද භාර දෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසිය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ අද මෙහිදී දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කෙරුණා. අප දැන් රටක් ලෙස ප්‍රවේශ වී සිටින්නේ නව යුගයකටයි. පළමු වතාවට රජය දේශීය ණය ලබා ගැනීම නවත්වා තිබෙනවා. ඒ වෙනුවෙන් අපට නව ආදායම් මාර්ග සෙවිය යුතුව තිබෙනවා. එම ආදායම් මාර්ග ලබා ගැනීම වෙනුවෙන් සංස්ථාවලට මුදල් යොදවන්නේ නැතිව මිල සුත්‍රයකින් මුදල් උපයා ගන්නා ලෙස සමාගම්වලට දැනුම් දී තිබෙනවා. ඛනිජ තෙල් අංශයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ එය සාර්ථක වී තිබෙන අතර ලෝක මිල තත්ත්වයන් අනුව ඉන්ධන සහ විදුලිබලයේ මිල නියම කිරීම සිදු වෙනවා.

ඒ වගේම වැට් බදු වැඩි කිරීම නිසා 2023 වසරේ සහ 2024 වසර මුල් කාලය සියලුදෙනාට අසීරු කාලයක් වුණා. නමුත් දැන් ආර්ථික ටිකෙන් ටික හොඳ අතට හැරෙමින් තිබෙනවා. ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ලබා ගැනීමට අපට හැකි වූ අතර එය හොඳ තත්ත්වයක් බව කිවයුතුයි. මෙය පුද්ගලික අංශයට ද බලපානවා.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මසකට වරක් සාකච්ඡා කරනවා. අප ලබා ඇති ප්‍රගිතිය එහිදී පෙනෙන්නට තිබෙනවා.

මේ අයුරින් අද රටේ ආර්ථික දියුණු වෙමින් තිබෙනවා. මේ වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩි වී තිබෙනවා. නමුත් ලබන වසරේදී වාහන ආනයනයට ඉඩ දීම සමඟ එම විදේශ සංචිත ප්‍රමාණය අඩු විය හැකියි. නමුත් වාහන ආනයනය නොකර සිටීමටද හැකියාවක් නැහැ. මෙම ප්‍රශ්න අප කෙටිකාලීව විසඳාගත යුතුව තිබෙනවා.

සමස්ථයක් ලෙස අද රටේ ආර්ථිකය දියුණු වෙනවා. අප රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගත යුතුයි. ඒ වෙනුවෙන් ආදායම් අධිකාරිය ස්ථාපිත කර මෙම වැඩකටයුතු සිදු කළ යුතුයි. ඒ වගේම එම නිලධාරින්ට අවශ්‍ය පුහුණුව ද ලබා දිය යුතුව තිබෙනවා. රටේ ආදායම් ඉහළ ගොස් ආර්ථිකය දියුණුවන විට බදු අය කිරීම්ද ඒ අනුව සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එම සහන ලබාදීම පිළිබඳවත් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරනවා.ඒ වගේම බැංකුවලට අදාළව අලුත් නීතියක් ද ගෙන එනවා. එහිදී ණය පතිව්‍යුහගතකරණය කරන අයට එම කටයුතු ඉදිරියට කරගෙන යා හැකියි. ඒ වගේම බැංකුවල තිබෙන බොල් ණය ඉවත් කළ යුතුයි. අලුතින් ප්‍රාග්ධනය ද ලබාගත යුතුව තිබෙනවා. එම කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කෙසේ හෝ දේශීය ණය අඩු කරගෙන ඉදිරියට යා හැකි තත්ත්වයකට අප පැමිණ තිබෙනවා.

ව්‍යාපාරිකයන් මුහුණ දී තිබෙන ප්‍රශ්න පිළිබඳව ද මට හොඳ අවබෝධයක් තිබෙනවා. අප මෙම ප්‍රශ්න විසඳාගෙන ක්‍රමනුකූලව ඉදිරියට යා යුතුයි. ලබන වසර මැද වන විට රටේ ආර්ථිකයේ මීට වඩා හොඳ දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ වගේම ව්‍යාපාර නව නීතිවලට ඇතුළත් කිරීමට හා තිබෙන නීති රෙගුලාසි බොහොමයක් අඩු කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා. අප සියලුදෙනා සාකච්ඡා කර මෙම නව ක්‍රමවේදය සකස් කර ගමු. ඒ වගේම ආර්ථික කොමිසම ඇති කිරීමට ද අප කටයුතු කරනවා. දේශිය ව්‍යාපාරිකයන්ට එක් ස්ථානයකදී තම කටයුතු ඉටු කර ගැනීමට වෙනුවෙන් දැනට තිබෙන ආයතන එක් කර එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් ඇති කරනවා. එහිදී ප්‍රාදේශීය වෙළෙඳ මණ්ඩල තවත් ශක්තිමත් විය යුතුයි. ආර්ථිකය විමධ්‍යගත කරන විට එය අවශ්‍යයි. පළාත් සංවර්ධන මණ්ඩල ඇති කිරීමට ද මම යෝජනා කර තිබෙන අතර අනෙකුත් පක්ෂද ඊට එකඟතාව පළ කර තිබෙනවා.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප ජපානය සමඟ සාකඡා කර තිබෙනවා. මහනුවර කේන්ද්‍රස්ථානය කර ගනිමින් මධ්‍යම පළාතේ ආර්ථිකය ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අඩුම තරමින් සංචාරකයෙක් රාත්‍රින් 03ක් වත් මහනුවර ගත කරන අන්දමින් එම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සකස් කළ යුතුය . එහිදී ප්‍රධාන හෝටල් කිහිපයක්ම මෙහි ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් වීමෙන් පසු මෙම ප්‍රදේශය විශාල දියුණුවක් ඇතිවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම මේ ප්‍රදේශයේ පිහිටි උඩවත්ත කැලේ සංචාරක ආකර්ශණයට ලක් කළ යුතුයි. බෞද්ධ ශිෂ්ඨාචාරය කේන්ද්‍රයක් ද මේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. සෑම බෞද්ධ රටකම තිබෙන විහාරස්ථාන එම ආකෘතියට අනුව එහි ස්ථාපිත කිරීමට නියමිතයි. ඒ වගේම නුවරඑළිය දියුණු කිරීම වෙනුවෙන්ද නව වැඩසටහන් රැසක් අප සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන් සමඟ මධ්‍යම පළාත සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම මහනුවර තාක්ෂණය මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැඟීමට ද අප අපේක්ෂා කරනවා. තවද නව විශ්වවිද්‍යාල කිහිපයක් මේ පළාතට ලැබෙනු ඇතියි. එසේම මධ්‍යම පළාත තුළ පුළුල් කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන ආර්ථිකයකට මේ පළාත සූදානම් කළ යුතුයි. මහනුවර මෙරට ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානක් ලෙස ගොඩනැඟීමේ සැලසුම් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ද කිවයුතුයි. ඒ සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ද මම බලාපොරොත්තු වෙනවා.

මහනුවර සිංහල වෙළඳ සංගමයේ සභාපති යසස් චන්ද්‍රසේකර, ලේකම් නදීච් වීරරත්න, මහනුවර දෙමළ වෙළෙඳ සංගමයේ සභාපති එම්. කුමාරදාස, මහනුවර මුස්ලිම් වෙළඳ සංගමයේ සභාපති සලිම් ඩීබ් මහත්වරුන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.