ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක,තුන රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
එමෙන්ම අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පක්ෂය නිවැරදි තීන්දුව නොගතහොත් පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි වනු ඇති බවයි.
දිවුලපිටිය ආසනයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
ප්රශ්නය- ඔබතුමාව ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත්කර තිබෙනවා?
පිලිතුර- මම දන්න විදියට මාව දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුමෙන් ඉවත්කර තිබෙනවා.ඒක සාධාරණයි. මොකද අපි පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන්න නෑ. මම රට ගැන හිතල තීන්දුවක් ගත්තා. මම මගේ තීන්දුවේ ඉන්නවා.
ප්රශ්නය- ඒ කියන්නේ පක්ෂය රට ගැන හිතන්නෙ නැද්ද?
පිලිතුර- තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්රවලට වැඩ කරන කොට රට ගැන හිතන්න බැහැ.අද පක්ෂයට වෙලා තියෙන්නේ එහෙම දෙයක්. රට ගැන කැක්කුමක් තිබුණනම් 2022දි පක්ෂයේ නායකත්වය වෙන කෙනෙක්ට දෙන්න තිබුණා. ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනකොට අපේ නායකයෝ එයාට සහය දුන්නේ නෑ. මොකද ඔහුට ඒ අත්දැකීම නැති නිසා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්න තීරණය කළේ අපේ නායකයන්.ඒක නිවැරදි තීරණයක්. ජනාධිපතිතුමා රට අමාරුවෙන් ගොඩ ගත්තම අයිතිවාසිකම් කියන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි අත්හදාබැලීම් කරන්න ගියොත් ආපහු ජනතාව පාරට බහිනවා. ඒ නිසා කයිවාරු නොගහ වැඩක් කරල පෙන්නපු මනුස්සයට ආපහු රට බාරදෙමු කියල අපි කියන්නේ.
ප්රශ්නය- ඔබ ඇතුළු පිරිසක් පක්ෂයෙන් අයින්කළේ ජනාධිපතිතුමා ප්‍රවර්ධනය කරන්න ගිහිල්ලා නේද?
පිලිතුර- නිදහස් පක්ෂය 2015 අපිට මේ විදියටම සැලකුවා.අද ඒ පක්ෂයට මොකද වෙලා තියෙන්නේ.බුද්ධිමත්ව කටයුතු නොකළොත් පොහොට්ටුවට වෙන්නෙත් ඒකමයි. අපි මහින්ද රාජපක්ෂ මහත්තයට ආදරෙයි. ඒ ආදරය නිසාමයි පක්ෂය රැකිල තියෙන්නේ. එතුමා නැතිවුණ දවසට මේ පක්ෂය ඉවරයි.
ප්රශ්නය- දැන් පොහොට්ටුවට මොකද වෙන්නෙ?
පිලිතුර- විනාශයක් වෙන්න යන්නේ.මේ වෙන්නෙ තමන්ගේ අපේක්ෂකයෙක් දාල ඩීල් එකක්. පක්ෂයේ අපේක්ෂකයාට දිනන්න බෑ. තරඟය තියෙන්නේ සජිත් – රනිල් අතර. අපිට ඩීල් නෑ. සල්ලිවලට පක්ෂය විකුණන්න දෙන්න බෑ. මේක මිනිස්සු හදපු පක්ෂයක්.
ප්රශ්නය- තනතුරු නැතුව ඔබ ඇතුළු පිරිසට මැතිවරණවලට යන්න පුළුවන්ද?
පිලිතුර- පක්ෂය දෙන තනතුරු දේශපාලන මණ්ඩලය වගේ තමයි. ඒකෙ ඉන්නෙ ගෙදර වැඩ කරන අය, තමන්ගේ සිකියුරිටි එක. නමුත් මහ පොළොව ඉල්ලන්නේ ආර්ථික අර්බුධයෙන් රට බේරාගත්තු නායකයා. අද වෙනකම් මම මේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයා නෙමෙයි. මට එහෙම පත්වීමක් දීල නෑ. මිනිස්සු තමයි ඒ පත්වීම දුන්නේ.බලෙන් දෙන නායකකම් මිනිස්සු කොයිතරම් දුරකට පිලිගනීද කියල බලමු.
ප්රශ්නය- පක්ෂයකුත් නැතුව මේ පවතින තත්ත්වය ඔබට ඉදිරිය අභියෝගයක් නෙමෙයිද?
පිලිතුර- නෑ… රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්රහණයෙන් පසුව පොහොට්ටුව හෝ වෙනත් පක්ෂයක් සමඟ සන්ධානගතවෙනවා. දැන් මේ රටේ තියෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්. සියලුම දේශපාලන පක්ෂ,නායකයෝ,සියලුම ජාතීන් එකට එකතුවෙලා ඉන්නෙ අපේ වේදිකාවේ.මිනිස්සු බළාපොරොත්තු වෙන සිස්ටම් චෙන්ජ් එක අපේ පැත්තෙ තියෙනවා.
ප්රශ්නය- පක්ෂය ගත්තු තීරණය පිටුපස ඉන්නෙ කවුද? නාමල් රාජපක්ෂද?
පිලිතුර- බැසිල් රාජපක්ෂ මහතා මේ පක්ෂය එකට තියාගෙන ආවා. තනතුරු දෙනකොට අත්දැකීම් තියෙන කෙනෙකුට දෙන්න ඕන.
අත්දැකීම් නැති අය රට බාරගෙන 2022දි රටට සිදු වුණු දේම තමයි අද පක්ෂයට වෙමින් තිබෙන්නේ.
ප්රශ්නය – පොහොට්ටුවෙ බෙදාදීම ආණ්ඩුවට තර්ජනයක් නෙමෙයිද?
පිලිතුර- මම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පහුගිය අවුරුදු දෙකහමාරේදීම ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපිට අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 113යි. අපිට ඉතුරු මාස දෙක,තුන තුළ මේ ගමන යන්න පුළුවන්.අපිට සරල බහුතරය තියෙනවා.
ප්රශ්නය- අන්තිමට පොහොට්ටුවට කී දෙනෙක් ඉතුරු වෙයිද?
පිලිතුර- හරි තීන්දුවක් ගත්තොත් අපි පොහොට්ටුව එක්ක ඉන්නවා.වැරදි තීන්දුවක් ගත්තොත් දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි.
ප්රශ්නය- පොහොට්ටුවේ ඉන්න අය ජනාධිපතිවරයාට සහය දක්වන්න එකතු වෙන්න ඔබතුමන්ලා සමඟ සාකච්ඡා කරනවද?
පිලිතුර- අපි අපේ මතය කියනවා. එච්චරයි. පක්ෂයේ මතය එක්ක හිටපු ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ කීම අහල අපිත් එක්ක එකතු වුණා. මහින්ද මහත්තයට ශක්තියක් වුණ එස්.එම් චන්ද්‍රසේන වගේ අත්දැකීම් තියෙන නායකයන් අද අපේ පැත්තට එනවා.