දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන සැලසුම් සහගත කෘෂි නවීකරණ වැඩ පිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකි වී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
යල හා මහ කන්න ආශ්‍රිතව වෙල් ඉපනැල්ලේ මුං ඇට වගාකර මෙට්‍රික් ටොන් 18,828ක අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ යටතේ එක් ගොවියෙකුට හෙක්ටයාරයක් සඳහා බීජ මුං ඇට කිලෝ ග්‍රෑම් 25ක් ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
2023 වසරේ ලැබුණු වාර්තාගත වී අස්වැන්න සමඟ සහල් මෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකි වූ බවත් ඒ හමුවේ රට තුළ සහල් අතිරික්තයක් පවත්වා ගැනීමට හැකිවී තිබෙන බවත් මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
2021 වසරේ මහ කන්නයේ ඇති වූ පොහොර අර්බුදය හේතුවෙන් වී නිෂ්පාදනය අඩාල වුණා. එම නිසා 2022 වර්ෂයේදී මෙරට ජනතාවට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් නිෂ්පාදනය වුණේ නැහැ. ඒ සමඟ සහල් කිලෝවක මිල රුපියල් 500 ඉක්මවනු ඇතැයි ඇතැමුන් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව රට ගොඩ නැගීමේ වගකීම බාර ගැනීමත් සමඟ දේශීය වී නිෂ්පාදනය ඉහළ නැංවීමට ගත හැකි සෑම පියවරක්ම ගනු ලැබුවා. 2022 යල කන්නය වෙනුවෙන් අවශ්‍ය යූරියා පොහොර ගොවීන්ට ලබා දුන්නා. ඒ වගේම මහ කන්නයේදී වී වගාව සඳහා පොහොර මිලදී ගැනීමට හෙක්ටයාරයක් සඳහා රුපියල් 20,000ක මුල්‍ය සහනාධාරයක් ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2023 වර්ෂයේදී සහල් ඇටයක් හෝ ආනයනය කිරීමට ආණ්ඩුවට සිදු වුණේ නැහැ.
2023 වසරේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.5යි. අප රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4යි. 2023 වසරේ අපට ලැබුණු වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළා. ඒ අනුව පසුගිය වසරේ සහල් අතිරික්තයක් අප රටේ ඇති වුණා. ගොවි ජනතාව විශ්වාස කර අප ලබා දුන් උපදෙස් අනුව වැඩ කළා. මේ වන විටත් මෙරට සහල් අතිරික්තයක් තිබෙන්නේ ඒ නිසයි.
ඒ වගේම පසුගිය කාලයේ බඩඉරිඟු හිඟයක් පැවති නිසා සත්ව ආහාර නිෂ්පාදනයටත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ අප ලබා දුන්නා. ගවයින්ට සහ කුකළන්ට සත්ව ආහාර වශයෙන් සහල් ලබා දීම නිසා බඩඉරිඟු ආනයනයට වැයවන විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණා.
අපගේ ඉලක්කය වගා කන්න 05ක් තුළ වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීමයි. ඒ අනුව වී වගාව සඳහා නව කෘෂි තාක්ෂණය හඳුන්වා දී හෙක්ටයාරයකට ලැබෙන අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 09ක් දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කයයි. ඒ සඳහා අප තාක්ෂණික පැකේජයක් ද හඳුන්වා දීමට නියමිත බව පැවසිය යුතුයි.
ඒ වගේම ඉදිරි වගා කන්න 05ක් තුළ වී අස්වැන්න දෙගුණ කිරීමේ වැඩසටහන අප අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, මොනරාගල සහ මහනුවර යන කෘෂිකාර්මික බල ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා.
එමෙන්ම මෙවර යල කන්නය අවසන් වූ වහාම තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නය වගා කිරීම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ වැඩපිළිවෙල අපි 2024 යල කන්නයේ අස්වනු නෙළා අවසන් කළ වහාම ආරම්භ කරනවා. 2024 වසරේ යල කන්නයේ මේ වනවිට හෙක්ටයාර් 4464ක මුං වගා කර තිබෙනවා. ඉන් අපේක්ෂිත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6500ක්.
තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයේදී හෙක්ටයාර් 8943ක අපි මුං ඇට වගා කරනවා. එමඟින් මුං ඇට මෙට්‍රික් ටොන් 6707ක අස්වැන්නක් අපේක්ෂිතයි. මේ අනුව මෙවර යල කන්නයේ හෙක්ටයාර 13,407ක මුං ඇට වගා කිරීමට නියමිතයි. ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 13,207ක්. වාර්ෂික මුං ඇට අවශ්‍යතාවයෙන් 75%ක් යල කන්නයේදී ලබා ගැනීම අරමුණයි.
මෙරට වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000යි. යල සහ මහ කන්නය දෙකම මුං ඇට වගා කිරීම තුළින් මෙට්‍රික් ටොන් 18,828ක අස්වැන්නක් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අතරමැදි කන්නය සඳහා හෙක්ටයාර 01කට බීජ මුං ඇට කිලෝග්‍රෑම් 25ක් බැගින් අපි නොමිලයේ ලබා දෙනවා. ඒ අනුව එක් ගොවියෙකුට හෙක්ටයාර 01කට මුං වගාව සඳහා රුපියල් 25,000ක් වටිනා මුං බීජ ලබා දීමට නියමිතයි. ඒ වගේම මුං ඇට ආනයනය සීමා කිරීම සඳහා ආනයන බද්දක් පැනවීමටත් අපේක්ෂා කරනවා. එය දේශීය මුං ඇට ගොවියා ආරක්ෂා කිරීමක් ද වනවා.
තවද රජයට අයත් පොහොර සමාගම් දෙක අප විසින් එක් සමාගමක් බවට පත් කළා. ඒ අනුව එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දීමට හැකි වී තිබෙනවා. මේ අනුව රජයේ පොහොර සමාගම (State Fertilizer Company) විසින් පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 1500 සිට 2000 දක්වා ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම සහනය කුරුඳු සහ පොල් වගාව සඳහා ලබා දීමට සමගාමීව තේ සඳහාත් ලබා දෙන පොහොරවල මිල අඩු කිරීමට ද තීරණය කර තිබෙනවා.
පසුගිය කාලයක් පුරාවට ගොවි ජනතාව පැවති ගැටළු දේශපාලන සටන් පාඨ බවට පත් කර ගත්තා. ඔවුන්ව විවිධ උද්ඝෝෂණවලට හා විරෝධතාවලට පෙළඹුවා. නමුත් දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන සැලසුම් සහගත කෘෂි නවීකරණ වැඩ පිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකියි.