පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා අද බොහෝ රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් නොවී ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන්වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ ගෙවීම් කටයුතුවලින්ද නිදහස්වීමට රජය අපේක්ෂා කරන බවත් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමිනි.
සමරු ඵලකය නිරාවරණය කර විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩලය සමඟ සුහඳ කතාබහක ද නිරත විය.
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තළිණයක්ද පිළිගැන්වීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යා පීඨ භූමියෙහි පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.
උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,
මෙම සම සෞඛ්‍ය පීඨය විවෘත කිරීම වෙනුවෙන් රමේෂ් පතිරණ අමාත්‍යවරයා කැපවී කටයුතු කළා. මෙම ගොඩනැඟිල්ලෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඇමරිකාව වැනි ප්‍රධාන විශ්වවිද්‍යාලවල මෙවැනි ගොඩනැඟිලිවලින් පැය 24ම ප්‍රයෝජන ලබා ගන්නවා. රජයේ මුදල් අධ්‍යාපනය සඳහා යෙදවූ විට අප එහි සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත යුතුයි. මෙම පංති කඩාකප්පල් වුවහොත් එහි හානිය ඔබට වගේම රටටත් සිදු වෙනවා.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට සහ එම සංස්ථාවලට බිලියන 700ක් වියදම් කළ බව මෙහිදී සඳහන් කෙරුණා. නමුත් එය නිවැරදි විය යුතුයි. එම බිලියන 700 ය තවත් දස ගුණයකින් වැඩි කළයුතුයි. මෙවන් විශාල මුදලක් වැය කිරීමේ ප්‍රතිඵලය වුයේ රජයන් තුනක් යටතේ මේ වෙනුවෙන් ණය ලබා ගැනීමයි. ඒ හේතුවෙන් අපේ රටේ ණය ප්‍රමාණය වැඩි වුණා.
රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ අපට පළමුව සිදු වූයේ ණය ලබා ගැනීම නවතා දැමීමටයි. එය අසීරු කාර්යයක්. නමුත් එය සිදු කළ යුතු වුණා. ඒ වෙනුවට අලුතින් මුදල් සොයා ගැනීමට අවශ්‍ය වුණා. එහිදී තමන්ගේ වියදම තමන් උපයාගත යුතුයි කියලා අප සෑම රාජ්‍ය ආයතනයකටම දැනුම් දුන්නා.
මෙම තත්ත්වය සෑම ක්ෂේත්‍රයකටම බලපානු ලැබුවා. එහිදී මට දැඩි දෝෂාරෝපණයට ලක්වීමට සිදු වණා. රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දෙනවද, බැණුම් අහනවද කියලා මට තීරණය කිරීමට සිදු වුණා. නමුත් මේ වගකීමෙන් බැහැර වීමට අපට හැකියාවක් තිබුණේ නැහැ. සියලු අමාත්‍යවරුන් අපට එම කටයුතුවලදී අවශ්‍ය සහාය ලබා දුන්නා.
එදා ඇතැම් අය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට විරුද්ධ වුණා. අද විදුලිබිල සහ ඉන්ධන මිල ලෝක මිල ගණන් අනුව පවතිනවා. අපි ඒ වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවන්නේ නැහැ. ඒ වගේම අනෙක් සංස්ථාවලටත් මුදල් ලබාදීම නතර කළා. අපට දැනට මුදල් ගෙවීමට තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පමණයි. මෙම වසර අවසන් වන විට එම ගෙවීම් කටයුතුවලිනුත් නිදහස් වීමට අපේක්ෂා කරනවා. ඒ අනුව රටට ඉතිරිවන මුදල් ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා යෙදවීමේ හැකියාව ලැබෙනවා.
මෙම කටයුතු ක්‍රියාත්මක කරන විට විශාල විවේචනයක් එල්ල වුණා. මම එහිදී ඇසුවේ එකම ප්‍රශ්නයයි. අපේ ජාතික සම්පත සංස්ථාද, තරුණ පරපුර ද කියා මම විමසුවා. අප අලාභ ලබන සංස්ථා ආරක්ෂා කරනවා ද, අධ්‍යාපනයට , සෞඛ්‍යට මුදල් ලබා දෙනවාද කියා තීරණය කළ යුතුයි. මෙම අලුත් වැඩසටහන් සමඟ ඉදිරි වසර දෙක, තුන තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,
අතිශය කාර්යබහුල අවස්ථාවක අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ ස්තූතිය පුදකර සිටිනවා. ඒ වගේම අතිශය තීරණාත්මක අවධියක මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කිරීම හැකිවීම පිළිබඳව සතුටු වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ගාල්ල දිස්ත්‍රික්කයට ඉතා සුවිශේෂී ව්‍යාපෘති කිහිපයක් හිමි වුණා. එතුමා 2024 අයවැය මඟින් සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා. එය රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත් සාධනීය පියවරක් බව කිවයුතුයි. ඒ වගේම අද විවෘත කෙරුණු මෙම නව විද්‍යාපීඨය දකුණු පළාතට ආඩම්බරයක් බව කිවයුතුයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග,
මේ අවස්ථාවට සහභාගි වීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිය පුදකර සිටිනවා. දින 75ක් තිස්සේ වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයන් එළඹෙන සඳුදා සිට යළි රාජකාරියට වාර්තා කරනවා. ඔවුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වුණා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට ස්තූතිය පුද කළ යුතුයි.
ඔවුන්ගේ හිග වැටුප් ගෙවීමට රුපියල් බිලියන 4.2ක් මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර තිබෙනවා. කිසිම වැඩ වර්ජනයක් නොමැති තත්ත්වයකට අපේ රට ගෙන යා හැකිනම් රටේ සංවර්ධනයයි එය බව මා විශ්වාස කරනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හා අන්‍යාගමික පූජකවරුන් ද, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල යන මහත්වරුන් සහ හිටපු උප කුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.