Language Switcher

Ad

Ad 01

V2025

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි!

මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත ඩොලර් මිලියන 918කින් විදේශ සංචිත ඉහළ යාමක්. අප්‍රේල් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,438ක්.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ තොරතුරු එළිදරවු වීමෙන් පසුව විණිමය වෙළඳපොළෙහි ඇති වූ කම්පනය ඉතා ඉක්මණින්ම සමනය වී ඇති බව දැකිය හැකියි. මේ හා අදාළව ඇති විය හැකි නරකම තත්ත්වය දැන් රහසක් නෙමෙයි. එම නරකම තත්ත්වය වුවද එතරම් නරක තත්ත්වයක් නෙමෙයි.

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ ප්‍රවාහ ස්ථාවර වී ඇති අතර සංචාරක කර්මාන්තයේ ආදායම් වල සැලකිය යුතු වැඩිවීමක් දැකිය හැකියි. වාහන ආනයන සිදු නොවෙන පසුබිමක වුවද, ඉහත සඳහන් මාර්ග දෙක හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රවාහ වලට සාපේක්ෂව ආනයන ඉල්ලුම විශාල මට්ටමක නැහැ. එම තත්ත්වය තුළ, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම මගින්, රුපියල "ඕනෑවට වඩා" ශක්තිමත් වීම පාලනය කරමින් සිටිනවා.

ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය ගැන වසර නවයක කාලයක් තිස්සේ අප මෙම වියුණුව හරහා පැහැදිලි කිරීම් හා විග්‍රහ කිරීම් සිදු කර තිබෙනවා. එම කාලය තුළ අප විසින් දිගින් දිගටම පෙන්වා දුන්නේ රටේ ගෙවුම් ශේෂ අර්බුද වලට ප්‍රධානම හේතුවක් වන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වන්නට ඉඩ නොදී එය පාලනය කරන්නට යාම බවයි.

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ගෙවුම් ශේෂ අර්බුද පැමිණෙන බව කීවත් වඩාත් නිවැරදිව කිවහොත් ප්‍රශ්නය වූයේ විණිමය අනුපාතය පාලනය කිරීම මගින් රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව තබා ගැනීමයි. ලංකාවේ දිගින් දිගටම සිදු වූයේ එයයි. විණිමය අනුපාතය පාලනය කිරීම රුපියල දුර්වල මට්ටමක පවත්වා ගත්තේනම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පැහැදිලි කළත්, අපේ බොහෝ පාඨකයින් වුවද අප කියූ දෙය තේරුම් ගත්තේ හෝ විශ්වාස කළේ නැහැ. පසුකාලීනව වුවත් බොහෝ දෙනෙකුට තිබුණේ මෙවැනි ප්‍රශ්නයක්.

"ආණ්ඩුව විසින් එක ඩොලරයක් හෝ උපයන්න කිසිම දෙයක් නොකර රුපියල ශක්තිමත් විය හැක්කේ කොහොමද?"

ආණ්ඩුව ඩොලර් උපයන්න මොනවා හෝ කර තිබේද, කළ යුතුද, වගේ දේවල් වඩා දේශපාලනික කරුණු. එසේ කර තිබීම හෝ නොතිබීම වගේම එසේ කළ යුතුද යන්න විණිමය අනුපාතය කෙරෙහි බලපාන්නේ ද්වීතියික කරුණු ලෙසයි. ඒ කිසිම දෙයක් සිදු නොවුනත්, ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ හැරිය විට වෙළඳපොළ විසින් ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා.

රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබාගත් විට හැමෝටම කෙසේ වෙතත් විණිමය වෙළඳපොළ හැසිරීම ගැන යම් අවබෝධයක් ඇති අයට මෙම තත්ත්වය කොයි වෙලාවක හෝ ආපසු හැරෙන බව පෙනෙනවා. එහි ප්‍රතිඵලය රටට එන විදේශ විණිමය ප්‍රවාහ සීමා වීම සහ රටෙන් යන විදේශ විණිමය ප්‍රවාහ ඉහළ යාමයි. ඒ නිසා, රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබා ගැනීමට උත්සාහ කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ එය වඩාත් දුර්වල වීමයි.

ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ඉලක්ක අනුව මෙම වසර අවසාන වෙද්දී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,128ක් දක්වා ඉහළ නංවා ගත යුතුයි. මේ සඳහා අවශ්‍ය වන්නේ තවත් ඩොලර් මිලියන 690ක් පමණයි. පසුගිය මාස දෙක තුළ පැවති තත්ත්වය දිගටම පැවතුණහොත් ජූනි මාසය අවසන් වන විට මේ ඉලක්කයට යා හැකියි.

මැයි දිනයේදී නිවේදනය කෙරුණේ තේ කර්මාන්තයේ කම්කරුවන්ගේ අවම වැටුපෙහි වැඩි වීමක් සිදු කෙරෙන බවයි. මෙය සිදු වන්නේ ඩොලරයක මිල පහත වැටීම දැනටමත් තේ නිෂ්පාදකයින්ගේ කණස්සල්ලට හේතු වී ඇති පසුබිමකයි. රුපියල තව දුරටත් විශාල ලෙස ශක්තිමත් වුවහොත් එය අපනයනකරුවන්ට දරා ගැනීමට අසීරු තත්ත්වයක් විය හැකියි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියර ආසන්නයට පැමිණ ඇත්නම් එය රටේ විදේශ අංශය හා අදාළ ලොකු තීරණ ක්ෂණිකව නොගෙන එතෙක් කල් මරන්නට සාධාරණ හේතුවක්. එය එසේ වුවත්, නොවුවත්, දැනට පවතින වර්ධනයන් තුළ වාහන ආනයනය සඳහා තරමක් කලින් දොර හරින්නට ඉඩකඩ විවෘත වී තිබෙනවා. මෙම අවස්ථාව මැතිවරණ අල්ලස් ලෙස වාහන ආනයන බලපත්‍ර ලබා දීම වෙනුවෙන් නොයොදවා, රටේ ආර්ථික ප්‍රමුඛතා මත පදනම්ව සිදු කරන්නේනම් එයින් රජයේ බදු ආදායම්ද වර්ධනය කරගත හැකියි.

පසුගිය මාසයක ත්‍රිරෝද රථහිමියෙකු විසින් අදහස් දක්වමින් කියා සිටියේ වාහන ආනයනය සඳහා නැවත ඉඩ ලබා දෙන විට ත්‍රිරෝද රථ සඳහා ප්‍රමුඛතාවය ලැබිය යුතු බවයි. ත්‍රිරෝද රථ කියන්නේ ඇත්තටම ලංකාවට ගැලපෙන වාහනයක්. ඒ වගේම, ඒ හරහා ඉහළ යන ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ සමාජ ස්ථර දක්වා විහිදී එම සමාජ ස්ථර වල සිටින්නන් සවිබල ගන්වන්නක්. ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනෙන ලොරි, කුඩා ලොරි, වෑන් ආදියෙහිද එවැනි ආර්ථික බලපෑමක් තිබෙනවා.

රටට ලොකු ආර්ථික බලපෑමක් නොමැතිව රටේ විණිමය සංචිත හින්දවීමට පමණක් දායක වන්නේ පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන, ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, මිල අධික වාහනයි. බදු රහිතව ආනයනය කරන්නට ඉඩ ලැබුණහොත් හානිය තවත් වැඩියි.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි