Language Switcher

Ad

Ad 01

V2025

2024ට යන්න පෙර කියවන්න : නිෂ්පාදන ආර්ථිකය !

ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශවලින් ලැබුණු දායකත්වය.

කෘෂිකර්මය - 48.4%
කර්මාන්ත - 15.2%
සේවා - 36.2%

පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන් බාගයක් පමණ කෘෂිකර්මය. කර්මාන්ත අංශයේ දායකත්වය 15.2%ක් පමණයි. නමුත් සැලකිය යුතු සේවා ආර්ථිකයක් ඒ වෙද්දීත් රටේ තිබුණා.

ඔහොම තිබුණු ලංකාවේ ආර්ථිකයේ ආකෘතිය ටිකෙන් ටික වෙනස් වෙලා 2018 වන විට පැවති තත්ත්වය තමයි පහත තියෙන්නේ.

කෘෂිකර්මය - 7.6%
කර්මාන්ත - 30.1%
සේවා - 53.7%

මේ සංසන්දනය සඳහා 2018 වර්ෂය තෝරා ගත්තේ මෙතෙක් ලංකාවේ ආර්ථිකය වඩාත්ම විශාල මට්ටමක තිබුණේ ඒ අවුරුද්දේ නිසා. ඉන් පසුව ආර්ථිකය හැකිළුණු නිසා දැන් රටේ ආර්ථිකය ඊට වඩා තරමක් පොඩියි. ඒ වගේම, 2018 ඉහත ප්‍රතිශත තුනේ එකතුව 100%ක් නොවන්නේ නිෂ්පාදන මත අය කළ ශුද්ධ බදු (බදු - සහනාධාර) වෙනම ගණනය කර තිබෙන නිසා. මුල් කාලයේදී ඇස්තමේන්තු හදද්දී එවැන්නක් සිදු වුනේ නැහැ.

මෙහිදී අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ආර්ථිකයේ පංගුවක් ලෙස කෘෂිකාර්මික අංශය හැකිලීම දෙසයි. 1958දී 48.4%ක් වූ මෙම පංගුව 2018 වන විට 7.6% දක්වා කුඩා වෙනවා. මෙයින් අදහස් වන්නේ කුමක්ද? රටේ ආර්ථික ප්‍රතිපත්ති තුළ කෘෂිකාර්මික අංශයට කුඩම්මාගේ සැලකිලි ලැබිලද?

රටක ආර්ථිකය වර්ධනය වෙද්දී දදේනියේ කෘෂිකාර්මික පංගුව ටිකෙන් ටික අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම හොඳ තත්ත්වයක්. මතක තියා ගන්න මේ කතා කරන්නේ ආර්ථිකයේ කෘෂිකාර්මික පංගුව අඩු වීම ගැන මිසක් රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වීම ගැන නොවන බව. පැහැදිලි ලෙසම ඒ දෙක දෙකක්.

කෘෂිකාර්මික පංගුව මේ විදිහට අඩු වී තිබෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය වර්ධනය වන අතරම, කර්මාන්ත හා සේවා අංශයේ නිෂ්පාදිත ඊට වඩා ගොඩක් වේගයෙන් වර්ධනය වී ඇති නිසා මිසක් කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වී ඇති නිසා නෙමෙයි.

රටක සමස්ත නිෂ්පාදිතයෙන් බාගයක්ම කෘෂිකර්මයනම් දළ ප්‍රකාශයක් ලෙස එයින් අදහස් වන්නේ රටේ සම්පත් වලින් බාගයක්ම යොදවා තියෙන්නේ කන බොන ටික හදාගන්න කියන එකයි. අනෙක් හැම අවශ්‍යතාවක් වෙනුවෙන්ම වෙන් වෙන්නේ ඉතිරි බාගය. ඒ කියන්නේ, රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දිහා බැලුවොත් කන බොන එක ඇරෙන්න වෙන කරන දේවල් ඉතා සීමිතයි.

මේ පංගුව 7.6% දක්වා අඩු වෙනවා කියන්නේ රටේ නිෂ්පාදිතයෙන් 92.4%ක්ම වෙනත් භාණ්ඩ හා සේවා කියන එක. ඒ කියන්නේ රටේ මිනිස්සු කන බොන එකට අමතරව තවත් ගොඩක් දේවල් කරනවා. එහෙම කරන්න පුළුවන් ආදායමක් ඔවුන්ට ලැබෙනවා.

ඇමරිකාවේ දදේනිය ඇතුලෙ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව 1.1%ක් පමණයි. එයින් අදහස් වන්නේ ඇමරිකාවේ කෘෂිකර්මය නොසලකා හැරලා කියන එක නෙමෙයි. ඇමරිකාවේ ලෝකයේ ලොකුම කෘෂිකාර්මික රටක්. නමුත්, කෘෂිකාර්මික නිෂ්පාදිතය වගේ 90 ගුණයක පමණ සමස්ත නිෂ්පාදිතයක් රට ඇතුළේ සිදු වෙනවා. ඒ හරහා රටේ මිනිස්සුන්ට ආදායම් ලැබෙනවා. ඒ නිසාම, සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ ආදායමෙන් කෑම බීම වෙනුවෙන් වෙන් කළ යුතු කොටස ගොඩක් කුඩා කොටසක්.

ලංකාව ගත්තත් මේ කතාව වලංගුයි. රටේ දදේනිය ඇතුළේ කෘෂිකර්මයේ පංගුව අඩු වෙනවා කියන්නේ සාමාන්‍ය ලාංකිකයෙකුගේ ආදායමෙන් කෑම බීම වෙනුවෙන් වෙන් කළ යුතු කොටස අඩු වෙනවා කියන එක. සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මේ අඩුවීම පැහැදිලිව පේනවා.

ඉහත සංසන්දනය සඳහා යොදාගත් 1958-2018 අතර වසර හැටක කාලය වසර විස්සේ කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. මෙයින් පළමු වසර විස්ස, ඒ කියන්නේ 1958-1978 කාලය රාජ්‍යමූලික, සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වලට මුල් තැන දුන් කාලයක්. 1978න් පසු කාලය තුළ ක්‍රියාත්මක වුනේද රාජ්‍යමූලික ප්‍රතිපත්තිම වුනත්, එම කාලය තුළ කලින් කාලයට සාපේක්ෂව ආර්ථිකය විවෘත වීමත්, පෞද්ගලික අංශයට වඩා වැඩි ඉඩක් ලැබීමත් දැක ගත හැකි වුනා.

මෙම ලිපිය සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ 1958, 1978, 1998 හා 2018 වසර වලදී ලංකාවේ දදේනිය හා ඒ තුළ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල කොටස. මේ වසර හැට තුළ රුපියලේ වටිනාකම විශාල ලෙස වෙනස් වුනා. ඒ නිසා, පහසුවෙන් සංසන්දනය කළ හැකි පරිදි, සියලුම අගයයන් 2018 රුපියල් වලට පරිවර්තනය කරලයි තියෙන්නේ. ඒ කියන්නේ, 2018 මුදලේ වටිනාකම අනුව තමයි 1958, 1978 හා 1998 වසර වල රටේ නිෂ්පාදිතයේ වටිනාකම්ද ගණනය කර තිබෙන්නේ. මේ වගුව ඉදිරිපත් කරන්නේ රටේ ප්‍රචලිත වැරදි අදහස් ගණනාවක් කරුණු සමඟ පෙන්වා දෙන්න.

රටේ ආර්ථිකය හැමදාම එක තැනද?

කිසිසේත්ම නැහැ. 1958-2018 කාලය තුළ රටේ ආර්ථිකය 22.6 ගුණයකින් ප්‍රසාරණය වී තිබෙනවා. මේ කියන්නේ රටේ නිෂ්පාදිතය වැඩි වීම ගැන. රටේ ආදායම් වැඩි වීම ගැන. 2018 රටේ ආදායම රුපියල් 100,000ක්නම්, 1958දී එම ආදායම රුපියල් 4,433ක් පමණයි. 1978දී රුපියල් 10,046ක් පමණයි. 2018 රටේ ජාතික ආදායමෙන් හා නිෂ්පාදිතයෙන් 90%ක් පමණම වැඩි වී තිබෙන්නේ 1978න් පසුවයි.

ආර්ථිකය මේ විදිහට ප්‍රසාරණය වෙද්දී රටේ ජනගහණයද වැඩි වී තිබෙනවා. ඒ නිසා, රටේ ආදායම් වැඩි වූ අනුපාතයෙන්ම ඒක පුද්ගල ආදායම වැඩි වී නැහැ. නමුත්, ඒක පුද්ගල ආදායම සැලකුවත්, 2018ට සාපේක්ෂව 1958 ඒක පුද්ගල ආදායම 10.8%ක් පමණයි. 1978 ඒක පුද්ගල ආදායම 15.3%ක් පමණයි. ඒක පුද්ගල ආදායමෙන් 85%ක්ම වැඩි වී තිබෙන්නේ 1978න් පසුවයි. වෙනත් විදිහකින් කිවුවොත් ලාංකිකයෙකුගේ 1978 ජීවිතය 2018 ආදායමෙන් 15.3%කින් පමණක් ගෙවූ ජීවිතයක්. 1958 ජීවිතය එම ආදායමෙන් 10.8%කින් ගෙවූ ජීවිතයක්. කෙටියෙන් කිවුවොත් අදට සාපේක්ෂව කුසගින්නේ ගෙවූ ජීවිතයක්.

රටේ කෘෂිකාර්මික ආර්ථිකය 1977න් පසු දියුණු වී නැද්ද?

රටේ කෘෂිකාර්මික ආර්ථිකය දිගින් දිගටම දියුණු වී තිබෙනවා වගේම තවදුරටත් දියුණු වෙමින් තිබෙනවා. 1958දී රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය 2018 නිෂ්පාදිතයෙන් 28.2%ක් පමණයි. ඒ කියන්නේ වසර හැටක් ඇතුළත රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය හතර ගුණයකට ආසන්නව වැඩි වී තිබෙනවා. ඒ වගේම, 1978දී රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය 2018 නිෂ්පාදිතයෙන් 40.4%ක් පමණයි. ඒ කියන්නේ, කෘෂිකාර්මික නිෂ්පාදිතයෙන් 60%ක් පමණම එකතු වී තිබෙන්නේ 1978න් පසුවයි.

නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති තුළ රටේ කෘෂිකාර්මික ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා විශාල ප්‍රමුඛතාවයක් ලැබුණා. එවැනි ප්‍රමුඛතාවයක් ලබා දීම නිවැරදියි. ලංකාවේ බොහෝ දෙනෙකු දැන සිටි දේ ගොවිතැනයි. ඒ වගේම ඒ වෙද්දී වගා කළ හැකි, එහෙත් ජල ප්‍රශ්නය වැනි විවිධ හේතු නිසා වගා කටයුතු සඳහා යොදා නොගැනෙන ඉඩම් රටේ තිබුණා. විවිධ සංවර්ධන යෝජනා ක්‍රම වල උදවුවෙන් මේ ඉඩම් ගොවිබිම් බවට පත් වෙද්දී රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියා.

කෘෂිකාර්මික අංශය පමණක් සැලකුවත් 1958-1978 වර්ධන වේගයට වඩා වැඩි වර්ධන වේගයකින් 1978-2018 කාලය තුළ නිෂ්පාදිතය වැඩි වී තිබෙනවා. එහෙත්, 1978-1998 කාලයට සාපේක්ෂව 1998-2018 කාලයේදී කෘෂිකාර්මික අංශය වර්ධනය වී තිබෙන්නේ අඩු වේගයකින්.

මහවැලි යෝජනා ක්‍රමය අවසන් වීමෙන් පසුව, ලංකාවේ වගා කළ හැකි ගොවි බිම් බොහෝ දුරට වගා බිම් වී අවසානයි. පාරිසරික තුලනය පවත්වා ගනිමින් රටේ වගා බිම් ප්‍රමාණය තව දුරටත් විශාල ලෙස වැඩි කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, කෘෂිකාර්මික නිෂ්පාදිතය තව දුරටත් ඉහළ දමා ගත හැක්කේ එක්කෝ අස්වැන්න වැඩි කර ගැනීම මගින්. එසේ නැත්නම් දැනට වගා කරන බෝග වර්ග වෙනුවට එම ඉඩම් වල ආර්ථික වශයෙන් වඩා ඵලදායී බෝග වගා කිරීමෙන්. නාගරික කෘෂිකර්මය, කෘෂිකර්මය තුළ තාක්ෂනය යොදා ගැනීම වැනි දේ අත් හදා බැලිය හැකි වුවත් කෙටි කාලයක් තුළ මහා පරිමාණයෙන් කළ හැකි දේවල් නෙමෙයි. ඒ නිසා, නුදුරු අනාගතයේදී ලංකාවේ කෘෂිකාර්මික අංශය තව දුරටත් වර්ධනය වනු ඇතත්, එය පෙර යුග වලට සාපේක්ෂව වේගයෙන් සිදු වීමේ ඉඩක් නැහැ. රටක ආදායම් මට්ටම් ඉහළ යාමේදී සහ වගා කළ හැකි ඉඩම් ප්‍රයෝජනයට ගෙන අවසන් වෙද්දී මෙසේ වීම සාමාන්‍ය තත්ත්වයක්.

ලංකාවේ කර්මාන්ත අංශයේ වර්ධනය අඩු වෙලාද?

ඇතැම් අයට අනුව 1977න් පසුව රටේ කර්මාන්ත අංශය වර්ධනය වී නැහැ. මෙය පට්ටපල් බොරුවක්. කර්මාන්ත අංශයේ 2018 නිෂ්පාදිතයට සාපේක්ෂව 1978දී පැවති මට්ටම 6.8%ක් පමණයි. එම නිෂ්පාදිතයෙන් 93.2%ක්ම එකතු වී තිබෙන්නේ 1978-2018 කාලය තුළයි. ලංකාවේ කර්මාන්ත අංශය වසරින් වසර වේගයෙන් වර්ධනය වී තිබෙනවා පමණක් නොව දදේනිය තුළ කර්මාන්ත අංශයේ පංගුවද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍ය ඒකාධිකාර හරහා කර්මාන්ත සංවර්ධනය කිරීම ආර්ථික මූලෝපාය වූ 1958-1978 කාලයේදී කර්මාන්ත අංශයේ නිෂ්පාදිතය 205%කින් වර්ධනය වී තිබෙනවා. බැලූ බැල්මටම මෙය ඉතා හොඳ තත්ත්වයක් බව පෙනෙන නමුත් කර්මාන්ත සංවර්ධනය පෞද්ගලික අංශය වෙත විතැන් වීම ඇරැඹුණු 1978-1998 කාලයේදී මෙම වර්ධනය 221%ක් වී, ඉන් පසුව 1998-2018 කාලය තුළ පෞද්ගලික අංශයේ මූලිකත්වය තුළ කර්මාන්ත අංශය 357%කින් වර්ධනය වී තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස 1978දී දදේනියට 20.5%කින් දායක වූ කර්මාන්ත අංශයේ එම දායකත්වය 2018 වන විට 30.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථිකය වර්ධනය වන්නේ සේවා අංශය නිසාද?

ප්‍රශ්නයට සෘජු පිළිතුර "ඔවු!". 1958-1978 කාලය සැලකුවත්, කෘෂිකාර්මික හා කර්මාන්ත සංවර්ධනයට ප්‍රමුඛතාව දුන් එම කාලයේ පවා ආර්ථික වර්ධනයෙන් 58.9%කට දායක වුනේ සේවා අංශය. නමුත් මෙහි තවත් පැති තිබෙනවා. මෙයට හේතුව ලංකාවේ ආර්ථිකයේ සේවා අංශය සතු විශාල පංගුවයි.

ආර්ථිකය වර්ධනය වීමට වැඩිම දායකත්වයක් සපයන්නේ සේවා අංශය වුවත්, පසුගිය කාලය තුළ වැඩිම වේගයකින් වර්ධනය වී තිබෙන්නේ කර්මාන්ත අංශයයි. ඒ වගේම, පෙර කී පරිදි, සේවා අංශය වර්ධනය වීම 1977න් පසුව ඇති වූ අලුත් තත්ත්වයක් නෙමෙයි. 1978 වන විටද සේවා අංශය රටේ ආර්ථිකයෙන් 48.9%ක්. ඉන් පසුව, සිදුව තිබෙන ප්‍රධානම වෙනස සේවා අංශය රාජ්‍ය අංශයේ සිට පෞද්ගලික අංශය වෙත ක්‍රමයෙන් විතැන් වීමයි. එයට අනුරූපව එම අංශයේ වර්ධන වේගයද ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය කවර ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තිද?

රාජ්යමූලික, සංවෘත ආර්ථික ප්‍රතිපත්ති යටතේ 1958-1978 අතර වසර විස්සක කාලය තුළ කෘෂිකාර්මික නිෂ්පාදිතය 1.43 අනුපාතයෙන්ද, කර්මාන්ත නිෂ්පාදිතය 3.05 අනුපාතයෙන්ද, සේවා නිෂ්පාදිතය 3.05 අනුපාතයෙන්ද ප්‍රසාරණය වී තිබෙනවා. මෙහිදී අවධානය යොමු කෙරෙන පළමු කරුණ එම කාලයේදීද කෘෂිකාර්මික නිෂ්පාදිතය වර්ධනය වී තිබෙන්නේ අඩු වේගයකින් බවයි.

අවධානය යොමු කළ යුතු, දෙවන හා වැදගත් කරුණ ගැන සලකා බැලීමට ඊළඟ වසර විස්සේ කාල පරිච්ඡේද තුළද ආර්ථිකයේ මෙම එක් එක් අංශය මේ වේගයෙන්ම වර්ධනය වී යැයි සිතමු. එසේ වීනම්, 2018 දදේනිය කවර මට්ටමක තිබිය හැකි වී ද?

එසේ වී නම් 2018දී රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය එම වසරේදී ඇත්තටම පැවති අගයෙන් 82.7%ක්ද, කර්මාන්ත නිෂ්පාදිතය පැවති අගයෙන් 63.5%ක්ද වනු ඇති අතර සේවා නිෂ්පාදිතය පැවති අගයෙන් 85.2%ක් පමණක් වෙනවා. මේ අංශ තුනම එක්ව ගත් විට රටේ නිෂ්පාදිතය පැවති මට්ටමෙන් 77.9% වෙනවා. ඒ කියන්නේ රටේ ජාතික ආදායමෙන් 22.1%ක් නැති වෙනවා. ඒ කොටස එකතු වීමට හේතු වී තිබෙන්නේ 1977න් පසු රටේ ආර්ථික ප්‍රතිපත්ති වල සිදු වූ සාපේක්ෂ වෙනසයි.

රටකට කෘෂිකාර්මික අංශය වැදගත් වුවත්, එක් සීමාවකින් පසු කෘෂිකාර්මික අංශය ප්‍රසාරණය වන්නේ සෙමෙන්. ඒ හරහා, රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය කරන්න බැහැ. ආර්ථිකය වේගයෙන් වර්ධනය වීමට සේවා අංශයෙන් විශාල දායකත්වයක් ලබා ගත හැකි වුවත්, රටක කර්මාන්ත අංශයද ප්‍රමාණවත් තරමින් වර්ධනය විය යුතුයි. නමුත් එයින් අදහස් වන්නේ වඩා ඵලදායී ලෙස නිපදවිය හැකි දේ රට තුළ නිපදවිය යුතු බව මිස හැම දෙයක්ම රට තුළම හදා ගත යුතු බව නෙමෙයි. ඒ වගේම රජය සෘජුව නිෂ්පාදනයට දායක විය යුතු බවත් නෙමෙයි.

කර්මාන්ත සංවර්ධනය සඳහා ලංකාව අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්ද කියන එක නැවත අලුතෙන් සොයා ගත යුතු රෝදයක් නෙමෙයි. 1958-1978 වේගයෙන් කර්මාන්ත අංශය දිගටම වර්ධනය වුනානම්, කර්මාන්ත අංශයේ 2018 නිෂ්පාදිතයෙන් 36.5%ක්ම එකතු වෙන්නේ නැහැ. ඒ කොටස එකතු වුනේ රාජ්‍ය අංශය වෙනුවට ක්‍රමක්‍රමයෙන් පෞද්ගලික අංශය ආදේශ වීමෙන් පසුවයි. 2022 වන විට 2018දී පැවති කර්මාන්ත අංශයේ නිෂ්පාදිතයෙන් 19.3%ක් අහිමි වෙලා. ඒ නිසා, 1978න් පසු ගිය වේගය තිරසාරද කියන ප්‍රශ්නය මතු වෙනවා. එක්තරා දුරකට මෙය වලංගු ප්‍රශ්නයක් වුවත්, මේ දැවැන්ත කඩා වැටීමෙන් පසුව වුනත් කර්මාන්ත අංශයේ නිෂ්පාදිතය 1958-1978 වේගයෙන් යා හැකිව තිබුණු ඉලක්කයට වඩා ගොඩක් ඉස්සරහින් තියෙන අගයක්. පසුගිය අවුරුදු කිහිපය තුළ අහිමි වුනේ රාජ්‍ය අංශයේ මැදිහත්වීම් හරහා එකතු කළ කොටස.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි