මහ බැංකුව විසින් තවත් 2%කින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරලා තියෙනවා. මේ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12% දක්වාත් පහත වැටෙනවා.
මහ බැංකුව විසින් මේ විදිහට පොලී අනුපාතික තව දුරටත් අඩු කරයි කියන එක හිතා ගන්න අමාරු වූ දෙයක් නෙමෙයි. වසර මැද වෙද්දී උද්ධමනය විශාල ලෙස අඩු වීමේ සහ ඉන් පසුව පොලී අනුපාතිකද අඩු වීමේ ඉඩකඩ ගැන පසුගිය වසරේ සිටම අප පෙන්වා දී තිබෙනවා. ඉදිරි මාසයේදී උද්ධමනය තවත් අඩු වෙද්දී මේ පොලී අනුපාතිකද තවත් අඩු වෙයි.
ආර්ථිකයට වැළඳෙන රෝග බොහොමයකට හේතු වගේම කළ යුතු ප්‍රතිකාරත් රහස් හෝ ගුරු මුෂ්ඨි නෙමෙයි. කාල පරීක්ෂාව සමත් වූ සම්මත, පිළිගත් දැනුම. ඒ දැනුම පැත්තකට දමලා ගොඩ බෙහෙත් කරන්න හෝ අලුතෙන් ප්‍රතිකාර හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ.
පැහැදිලි ලෙසම සීමාව ඉක්මවූ උද්ධමනය කියන්නේ ප්‍රශ්නයක්. වසර එකහමාරකට පෙර තත්ත්වය කොහොම වුනත්, මේ වෙද්දී ගොඩක් අය උද්ධමනයේ හානි ගැන අත්දැකීමෙන්ම දන්නවා. උද්ධමනය කියන්නේ අහම්බෙන් සිදුවන ස්වභාවික සංසිද්ධියක් නෙමෙයි. මුදල් සැපයුම නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම නිසා සිදු වෙන දෙයක්. ප්‍රතිපත්ති වරදක්. ඒ වරද නිවැරදි කිරීම මගින් උද්ධමනය පාලනය කරන්න පුළුවන්.
නියම බෙහෙත දුන් විට ලෙඩක් සුව වෙනවා. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. පසුගිය වසරේ අප්‍රේල් පමණ සිටම ලංකාවේ උද්ධමන ලෙඩේ හොඳ අතට හැරිලයි තිබුණේ. නමුත්, ලෙඩා සුව වී ඇති බව පැහැදිලිව පෙනෙන්නේ දැනුයි.
උද්ධමන රෝගය වැළඳුනු පසු එයට තිබෙන ප්‍රධානම ප්‍රතිකාරය පොලී අනුපාතික වැඩි කිරීම. තවත් විවිධ ප්‍රතිකාර තිබුණත් මූලිකම ප්‍රතිකාරය මේක. පොලී අනුපාතික පහළින් තියාගෙන උද්ධමනය පාලනය කරන්න බැහැ. හැබැයි පොලී අනුපාතික වලින් උද්ධමනය නිට්ටාවට සනීප කරන්න බැහැ. ලෙඩේ නිට්ටාවට සනීප කරන්නනම් රජයේ අයවැය හිඟය කියන නිදන්ගත රෝගය සුව කරන්න වෙනවා. නැත්නම් උද්ධමනය නැවත නැවත මතු වෙනවා.
අයවැය හිඟය නැති කරන්නම් පළමුව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න වෙනවා. ඒ සඳහා රජයේ ආදායම් වැඩි කරගෙන එම ආදායම් නොඉක්මවන තරමට වියදම් සීමා කරගන්න වෙනවා. මේ හරහා යම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. හැබැයි එහෙම කළාට පස්සෙත් ඒ ඉතිරි වන මුදල පරණ ණය වල පොලිය ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් අයවැය හිඟයක් තව දුරටත් ඉතිරි වෙනවා. ඒ හිඟය පියවන්න ණය ගන්න වෙනවා.
ලංකාවේ ගොඩ ගැසී තිබෙන ණය කන්දේ ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් ගෙවිය යුතු ඉහළ පොලිය අනුව පොලී වියදම් පියවා ගත හැකි තරමේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න එක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක් ඇති වුනේ ඔය තත්ත්වයත් එක්ක.
මේ වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙනවා. මෙය සිදුවෙන්නේ ස්වේච්ඡා පදනමින් නිසා සිදු වන දේ හරියටම බලාගන්න වෙන්නේ මේ මාසය අවසන් වූ පසුවයි. වාණිජ බැංකු වලට හා අනෙකුත් තනි පුද්ගලයින් ඇතුළු ආයෝජකයින්ට ඔවුන්ගේ සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විකල්ප තුනක් ලබා දී තිබෙනවා. මේ කිසිවක් සඳහා අයදුම් නොකළහොත් සිදුවන දෙය පැහැදිලි නැහැ. ඉදිරියේදී ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන්න යද්දීත් ඔය ප්‍රශ්නයම මතු වෙනවා. සාමාන්‍යයෙන් ඔය ණය 100%ක්ම ප්‍රතිව්‍යුහගත කරන්න ලැබෙන්නේ නැහැ.
විශ්‍රාම පාරිතෝෂික අරමුදල් හා අදාළව තත්ත්වය තරමක් වෙනස් වන්නේ ප්‍රධාන විශ්‍රාම පාරිතෝෂික අරමුදල් දෙකක්ම රජයේ භාරයේ තියෙන නිසා. මේ අරමුදල් වල බැඳුම්කර ආයෝජන ප්‍රතිව්‍යුහගත නොකෙරෙන්න ඉඩක් නැති තරම්. එහෙත් ඇතැම් පෞද්ගලික විශ්‍රාම පාරිතෝෂික අරමුදල් ඔවුන්ගේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත නොකරන්න ඉඩ තිබෙනවා. මේ පැත්තෙන් සිදු වන ප්‍රගතිය හරියටම දැනගන්න වෙන්නෙත් මාසයකට පසුවයි. ඔය මාසයක කාලය තුළ විදේශ ණය හා අදාළවත් යම් ප්‍රගතියක් දැකගන්න පුළුවන් විය හැකියි.
මහ බැංකුව සතු රජයේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක හදිස්සියේ වෙන දෙයක් නෙමෙයි. එය සිදුවනු ඇත්තේ නව මහ බැංකු පණත ක්‍රියාත්මක වෙද්දී. මේ පණත ආවට පස්සේ මහ බැංකුව විසින් රජයේ අයවැය හිඟය පියැවීම සඳහා සල්ලි අච්චු ගහන එක නවතිනවා. ඒ හරහා, මහ බැංකුවට උද්ධමනය තමන්ට අවශ්‍ය මට්ටමක තියා ගැනීමට ඉඩකඩ සැලසෙනවා. ඒ නිසා දිගුකාලීනව උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි.
ඔය තත්ත්වය යටතේ රජයට ආදායම් ඉලක්ක වලට යන්න බැරි වුනොත් හෝ වියදම් ඉහළ ගියොත් ණය ගන්න වෙන්නේ වෙළඳපොළෙන්. මහ බැංකුවට එයට ඉඩ සලසමින් පොලී අනුපාතික ඉහළ දමන්න සිදු වෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහළින් තියාගන්නනම් රජයේ අයවැය ඉලක්ක වලට යන්නම වෙනවා.
වාණිජ බැංකු සතු ඩොලර් ණය ප්‍රතිව්‍යුහගත කළාට පස්සේ වාණිජ බැංකු වල විදේශ සංචිත පහළ වැටෙනවා. ඒ අඩුව, හදාගන්න යම් ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මහ බැංකුවේ සංචිත හදාගන්න මහ බැංකුවටත් ඩොලර් අවශ්‍ය වෙනවා. දැනට නොගෙවන විදේශ ණය කොටස් වශයෙන් ගෙවන්න පටන් ගත් විට ඒ වැඩේටත් ඩොලර් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ආනයන සීමා ඉවත් වෙද්දීත් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඔය සියල්ලම එක්ක මැදිකාලීනව ඩොලරයක මිල ඉහළ යනවා මිසක් පහළ යන්නේ නැහැ.
මේ වෙලාවේ ඩොලරයක මිල පහත වැටීම නිසා ඉන්ධන වල සිට ආනයනික භාණ්ඩ බොහොමයක මිල පහත වැටී තිබෙනවා. ඒ හරහාද උද්ධමනය අඩු වීමට දායකත්වයක් ලැබී තිබෙනවා. නමුත් එම බලපෑම තාවකාලික එකක්. ඩොලරයේ මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ මිල නැවත ක්‍රමයෙන් ඉහළ යයි. හැබැයි ඒ හේතුවෙන් උද්ධමන ඉලක්ක වලට යන්න බැරි වෙන්නේ නැහැ.
විණිමය අනුපාතයේ බලපෑම නිසා උද්ධමනය ඉහළ යද්දී වුනත් මහ බැංකුව සතුව තිබෙන ප්‍රතිකාරය පොලී අනුපාතික වැඩි කරන එක. පොලී අනුපාතික වැඩි කරද්දී ණය ඉල්ලුම අඩු වෙලා ආනයන ඉල්ලුම පහළ යනවා. මේ හේතු නිසා ආර්ථිකය ස්ථාවර වුනාට පසුව ඩොලරයක මිල ඉහළ යාම නවතින්නේ හෝ හිතේ හැටියට ණය වෙන්න ඉඩ ලැබෙන පරිදි පොලී අනුපාතික පහළ යන්නේ නැහැ. ඔය දෙකම සුදුසු මට්ටම් වල රැඳෙයි. ඵලදායී කාර්යයක නිරත වන අයෙකුට මේවා ප්‍රශ්න වෙන එකක් නැහැ.
කොහොම වුනත්, දැනට පවතින උද්ධමන ප්‍රවණතා අනුව පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම යම් තරමකින් ඉහළ යන්න ඉඩ දීමේ හැකියාවක් තිබෙනවා වගේම ආර්ථික වර්ධනය සඳහා එය අවශ්‍යයි. මේ වසරේ පළමු කාර්තුවේදී (පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව) ආර්ථිකය 11.5%කින් හැකිළුනා. දැන් දෙවන කාර්තුවත් ඉවරයි. දෙවන කාර්තුවේදීද 5%කට ආසන්න හැකිලීමක් සිදු වී තිබිය හැකියි. නමුත් මේ (තුන්වන) කාර්තුවේදී නැත්නම් ඉදිරි (හතරවන) කාර්තුවේදී ඔය තත්ත්වය වෙනස් වී සුළු හෝ ආර්ථික වර්ධනයක් සිදු වෙන්න ඉඩ තිබෙනවා.
ඉදිරි මාස දෙක තුන තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වුනොත් අමාරුම කාලය ඉවර වෙනවා. නමුත් එයින් අදහස් වන්නේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා ඉවරයි කියන එක නෙමෙයි. මෙහිදී වෙන්නේ වාහනය ගරාජ් එකෙන් ගෙදර ගෙනියනවා වගේ වැඩක්. ඊට පස්සේ නැවත මේ වගේ හදිසි අනතුරක් කර නොගෙන, පාරෙන් පිට නොපැමිණ ගමන යා යුතුයි. රියදුරා පාර දන්න, පාර පේන, එළවන්නත් දන්න රියැදුරෙක්නම් රියැදුරා මාරු වීම හෝ නොවීම ප්‍රශ්නයක් නොවුනත් ගමන් සැලසුම වෙනස් වුනොත්නම් ප්‍රශ්නයක්.
දැන ගියොත් හරි පැත්තට හරවලා කතරගම යන්න පුළුවන්. නොදැන ගියොත් වැරදි පැත්තට හරවලා කලින් පාර වගේ හම්බන්තොට ගිහින් හොම්බෙන් ගියාට පස්සේ ආපහු එන්නත් පුළුවන්. හැබැයි දැන් කලින් තරමටවත් වාහනේ පැට්‍රෝල් නැති නිසා මේ පාර වැරදි පාරේ ගියොත් ආපහු එන්න පැට්‍රෝල් මදි වෙන්න පුළුවන්. මේ දුවන්නේ විදේශ ණයහිමියෝ පිනට ගහල දෙන පැට්‍රෝල් වලින්!