රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාපාර පාඩු ලබන නිසාම නෙමෙයි.
රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම යන සියල්ලම කිරීම සමාජවාදී ආර්ථික ක්‍රමයයි. ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ රජය විසින් වෙළඳපොළට මැදිහත්වීමක් කරන්නේ වෙළඳපොළට විසඳිය නොහැකි ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳීමට පමණයි.
ඉහත කී සමාජවාදී ආර්ථික ක්‍රමය අසාර්ථක බව මේ වන විට සමාජවාදී අදහස් දරන බොහෝ දෙනෙක් පවා පිළිගන්නා දෙයක් නිසා ඒ බව අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා, පැරණි සෝවියට් දේශයේ සිට කියුබාව හා උතුරු කොරියාව දක්වා ඓතිහාසික හා ජීවමාන නිදර්ශන ඕනෑ තරම් තිබෙනවා. වංචා, දූෂණ, හොරකම්, නිලධාරීවාදය, අලසකම, ඥාති සංග්‍රහය ආදිය මේ ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණ. මේවා ගැන ලාංකිකයින්ට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ.
ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය බොහොමයක් සමාජවාදී ආර්ථික දැක්මක් ඇතුව හදපුවා. ඊට අමතරම පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් ලෙස හඳුනාගෙන කළ දේවල් මෙන්ම ජාතිකවාදී හා ආරක්ෂණවාදී පදනමකින් කරපු දේවලුත් තිබෙනවා. මේ අරමුණු එකට සම්බන්ධ වී ඇති නිසා ඉරි ගහලා වෙන් කරන්න අමාරුයි.
නිදහස ලබද්දී පෞද්ගලික අංශය හරහා හොඳින් ක්‍රියාත්මක වූ තෙල් කර්මාන්තය, වැවිලි කර්මාන්තය, බස් කර්මාන්තය ආදිය ජනසතු කෙරුණේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුවයි. නමුත් අන්තිමට ඉතිරි වුනේ වංචා, දූෂණ, හොරකම්, නිලධාරීවාදය, අලසකම, ඥාති සංග්‍රහය එක්ක පාඩු පමණයි. මේ ඇතැම් අංශ පසුව නිදහස් වුවත්, ලංකාවේ රජය තවමත් පෞද්ගලික අංශයට කළ හැකි බොහෝ දේ කරනවා.
සෝවියට් පන්නයේ සමාජවාදී ආර්ථික ක්‍රමයක් දැන් තිබෙනවානම් තියෙන්නේ උතුරු කොරියාවේ පමණයි. අනෙකුත් බොහෝ සමාජවාදී රටවල් විසින් එක්කෝ සමාජවාදී ක්‍රමය එකවර අතහැර තිබෙනවා. නැත්නම් ක්‍රමයෙන් අත හරිමින් සිටිනවා. චීනය දෙවන ක්‍රමයට උදාහරණයක්. සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් (socialist market economy) ලෙස හඳුන්වන චීන ක්‍රමයේදී රජයේ (කොමියුනිස්ට් පක්ෂයේ) මධ්‍යගත සැලසුම හා අනුගත වන පරිදි වෙළඳපොළ ක්‍රමයෙන් නිදහස් කෙරෙමින් තිබෙනවා. ඒ එක්ක චීනයේ වේගයෙන් බිලියනපතියන් බිහිවෙනවා. ඒ සමහර අයනම් හිටපු ගමන් අතුරුදහන් වෙනවා.
මෙයින් වෙනස්ව ධනවාදී රටකදී රජයක් වෙළඳපොළට මැදිහත් වෙන්නේ පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් කරන්න පමණයි. අනෙක් ගොඩක් දේවල් කරන්නේ ලාබ ලැබීම අරමුණු කරගත් පෞද්ගලික ව්‍යවසාය විසින්. ඒ අතර ආදායම් විෂමතා අඩු කිරීම වැනි සමාජවාදී අරමුණු, වෙනත් ජාතික අභිලාශ ආදිය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම් සිදු වෙනවා.
කිසියම් ව්‍යාපාරයක් කිරීමෙන් ලාබ ලැබිය හැකිනම් පෞද්ගලික ව්‍යවසායකයෙක් බොහෝ විට වැඩේට අත ගහනවා. එහෙම නොකළොත් අවදානම වැඩිකම, විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම වැනි හේතු නිසා පමණයි. ඒ කියන්නේ, ධනවාදී ක්‍රමයක් ඇතුළේ රජයකට ව්‍යාපාර කරලා ලාබ ලබන්න අමාරුයි කියන එක. මොකද එහෙම පුළුවන්කමක් තිබෙනවානම් රජය ඒ වැඩේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා, රාජ්‍ය ව්‍යවසාය පාඩු ලැබීම ඒ නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
රාජ්‍ය ව්‍යවසායයක් අනිවාර්යයෙන්ම පාඩු ලැබිය යුතුයි කියන එක මෙයින් අදහස් වන්නේ නැහැ. ආර්ථික ලාබ නැතත් රාජ්‍ය ව්‍යවසායක් ගිණුම්කරණ ලාබ ලබන්න පුළුවන්. ආර්ථික ලාබ නැතුව ගිණුම්කරණ ලාබ තිබුණු පමණින් පෞද්ගලික අංශය ව්‍යාපාරයකට අත ගහන්නේ නැහැ. නමුත් රජයකට එවැනි ව්‍යාපාර පවත්වා ගෙන යන්න පුළුවන්. ඒ වගේම, ලාබ නොලබන පදනමකින්, එහෙත් පාඩු නැතිව, ව්‍යාපාර පවත්වාගෙන යන්නත් පුළුවන්. මෙහිදී ගිණුම්කරණ පාඩුවක් නැතත්, ආර්ථික පාඩුවක් වෙනවා. මෙයිනුත් ඔබ්බට ගිහින් ගිණුම්කරණ පාඩු එක්කම වුනත් ආයතනයක් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම කරන එකේ ඒ හේතුව නිසාම වැරැද්දක් නැහැ.
පෞද්ගලික අංශය විසින් නොකරන, ආර්ථික ලාබ නැති කටයුත්තකට රජය අත ගහද්දී එසේ කිරීමේ පිරිවැය පැහැදිලිව හඳුනාගත යුතුයි. මොකද එම පිරිවැය දරන්න වෙන්නේ බදු ගෙවන්නන්ටයි. ගිණුම්කරණ පාඩු ඇත්නම් මේ පිරිවැය වහාම දරන්න වෙනවා. ගිණුම්කරණ පාඩු නැතුව ආර්ථික පාඩු පමණක් ඇත්නම්, යම් කාලයක් ලැබෙන නමුත්, අවසානයේදී බදු ගෙවන්නට පිරිවැය දරන්න වෙනවා. ඒ නිසා, රජය විසින් යම් වැඩකට බදු මුදල් යොදවද්දී එයින් ආර්ථික ලාබ නැත්නම් ඒ වෙනුවට ලැබෙන ආර්ථික නොවන වාසි මොනවද කියන එක පැහැදිලි ලෙස බදු ගෙවන්නන්ට දැනුම් දිය යුතුයි.
කොහොම වුනත් පෞද්ගලික අංශයට කරලා ලාබ ගන්න පුළුවන් දෙයක් රජය විසින් කරමින් පාඩු ලබනවානම් එය විශාල ප්‍රශ්නයක්. පාඩු නොලබන නමුත් ප්‍රමාණවත් ලාබ නොලබනවානම් ඒකත් ප්‍රශ්නයක්. ප්‍රමාණවත් ලාබ ලබනවාම වුනත් තරඟ තීරකයා වන නියාමකයා තරඟකරුවෙකුද වූ විට එහි පැහැදිලි බැඳියා පිළිගැටුමක් තිබෙනවා.
බැංකු, රක්ෂණ, හෝටල්, විදුලි සංදේශ, ජනමාධ්‍ය වගේ අංශ දැනටත් පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් ලංකාව තුළ හොඳින් ක්‍රියාත්මක වෙනවා. නියාමනය කරනවා හැරෙන්න රජයට මැදිහත් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මෙම අංශ වල පෞද්ගලික ව්‍යවසායකයින් ආකර්ශනය වන තරමේ ලාබයක් වගේම ප්‍රමාණවත් තරඟයකුත් තිබෙනවා.
කාලයකට පෙර ලංකාවේ විදුලි සංදේශ සේවාවන් සැපයුණේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඒකාධිකාරය යටතේ. පසුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සංස්ථාවක් වී ඉන්පසුව සමාගමක් වුනා. ශ්‍රී ලංකා ටෙලිකොම් ලෙස නම වෙනස් වුනා. දැන් මෙය කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක්.
කෙසේ වුවත්, තවමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 49.5%ක කොටස් අයිතියක් මහා භාණ්ඩාගාරයට තිබෙනවා. ඒ හරහා, රජයට, විශේෂයෙන්ම පවතින ආණ්ඩුවට, මෙම ආයතනයට බලපෑම් කළ හැකියි. උදාහරණයක් ලෙස කලකට පෙර මෙම ආයතනයේ සභාපති සේ පත් කෙරුණේ එවකට හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා. රජය ව්‍යාපාර කරද්දී ඔය වගේ දේවල් වෙනවා. මේවා අදාළ පුද්ගලයින්ගේ ප්‍රශ්න වුනත්, පුද්ගලයින්ට මේ වගේ දේවල් කළ හැකි වන්නේ ක්‍රමය තුළයි.
ස්ථිර සම්බන්ධතා දුරකථන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් අයිතිය නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ආරම්භයේදී අනෙක් තරඟකරුවන්ට නැති වාසියක් තිබුණා. නමුත් මෙම වෙළඳපොළ මිය යමින් තිබෙන වෙළඳපොළක්. තමන්ගේ සම්ප්‍රදායික වෙළඳපොළ අහිමි වෙද්දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සාර්ථක ලෙස ජංගම දුරකථන හා දත්ත සේවා සැපයුම් වෙළඳපොළට පිවිසුනා. මෙම ආයතනය පාඩු ලබන ආයතනයක් නෙමෙයි. සාමාන්‍යයෙන් හැම වසරකදීම ලාබ ලබනවා.
ආයතනයක ලාබ පරීක්ෂාවට ලක් කළ හැක්කේ යොදවා ඇති කොටස් ප්‍රාග්ධනයට සාපේක්ෂවයි. මෙය ප්‍රතිලාභ අනුපාතය ලෙස හැඳින්වෙනවා. පහත තිබෙන්නේ 2012-2021 අතර වසර දහයක කාලය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිලාභ අනුපාතයි.
2012- 7.00%
2013- 9.06%
2014- 9.39%
2015- 5.71%
2016- 6.97%
2017- 5.52%
2018- 6.71%
2019- 8.09%
2020- 9.35%
2021- 12.94%
වසර දහයක සාමාන්‍ය අගය 8.1%ක්. ආසන්න වසර පහේ සාමාන්‍ය අගය 8.5%ක්. රටේ සාමාන්‍ය උද්ධමනය 5% ලෙස සැලකුවොත් මූර්ත ප්‍රතිලාභය 3%කට ආසන්නයි. මෙය ප්‍රමාණවත් වුවත් ආකර්ශනීය ප්‍රතිලාභ අනුපාතයක් නෙමෙයි.
අදාළ වකවානු තුළ ඇමරිකාවේ කොටස් වෙළඳපොළ ආයෝජන වල සාමාන්‍ය ප්‍රතිලාභ 14.83% (2012-2021) හා 17.04 (2017-2021) වූ බවත්, ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය පවත්වා ගන්නේ 2% මට්ටමේ බවත් සැලකූ විට මෙම ප්‍රතිලාභ අනුපාතිකය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම්හි තරඟකරුවෙකු වන ඩයලොග් සමාගමේ ප්‍රතිලාභ අනුපාතික පහත තිබෙනවා. එම අගයන්හි සාමාන්‍යය 15.04%ක්.
2017- 17.8%
2018- 11.2%
2019- 14.2%
2020- 14.2%
2021- 17.8%
කොටස් ආයෝජනයක් සැලකෙන්නේ දිගුකාලීනම බැඳුම්කරයකටද වඩා දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ශ්‍රී ලංකා රජයට 8% පොලියට දිගුකාලීනව අරමුදල් ලබා ගැනීම කළ නොහැක්කක් නොවුනත් ඉතා අසීරු දෙයක්. විශේෂයන්ම මේ අවස්ථාවේදී එය කළ නොහැකියි. දිගුකාලීන පොලී අනුපාතික 15% මට්ටම දක්වා අඩු වනු ඇතැයි සිතුවත්, 15%කට ණයට ගෙන 8% පොලියට ආයෝජනය කිරීම මෝඩ වැඩක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඊටත් අමතරව මෙහි ද්‍රවශීලතා ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම්හි ලාභ සියල්ල කොටස්හිමියන් අතර බෙදා හරින්නේ නැහැ. එයින් වැඩි කොටසක් නැවත එම සමාගම තුළම ආයෝජනය කෙරෙනවා. කොටස්හිමියන්ට ලැබෙන්නේ ආසන්න වශයෙන් ලාබයෙන් තුනෙන් එකක් පමණ.
වසරකට 8%ක පමණ ප්‍රතිලාභ ලැබෙන නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් තුළ මුදල් ආයෝජනය කිරීමෙන් බදු ගෙවන්නන්ට පාඩුවක් නොවන බව අපි හිතමු. මෙම ප්‍රකාශය සත්‍ය වන්නේ ආයෝජනය කරන්නට තරම් ප්‍රමාණවත් අතිරික්ත වත්කම් රජය සතුව ඇත්නම් පමණයි. රජයකට බදු මුදල් සියල්ල වැය නොකර කොටසක් ඉතිරි කර ගැනීම මගින් එවැනි වත්කම් හදාගන්න පුළුවන්.
සිංගප්පූරුව වැනි රටවල රජයයන් බදු මුදල් ඉතිරි කර ගැනීම මගින් එවැනි වත්කම් හදාගෙන තිබෙනවා. ඒ වත්කම් ආයෝජනය කර තිබෙනවා. නිදහස ලැබෙන තුරු ලංකාවේ තිබුණේත් එවැනි ක්‍රමයක්. ජාතික සමාජවාදී ප්‍රතිපත්ති නිසා ක්‍රමයෙන් විනාශ වී ගියේ එසේ වැය නොකළ බදු ආදායම් ලෙස එකතු කරගත් ධනයයි.
නමුත් දැන් ලංකාව නහයටත් උඩින් ණය වී ණය පැහැර හැර ඇති රටක්. ශ්‍රී ලංකා රජය සතු කවර හෝ වත්කම් ඇත්නම් එම වත්කම් දැනටමත් ණය හිමියන්ට අයිති වී අවසානයි. තිබෙන වත්කමක් මුදල් කර ණය ගෙවනු හැර මුදල් හිර කර තැබීමේ හැකියාවක් මේ වෙලාවේ ශ්‍රී ලංකා රජයට නැහැ.
#ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි