Language Switcher

Ad

Ad 01

V2025

පාසල් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ආහාර තොග බෙදාහැරීම ඇරඹේ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කෙරිණි.

පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් ගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර එය හෙට (20) දිනයේද ක්‍රියාත්මකය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරයි.

මේ අතර ලබන මැයි 19 වන දින නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, සන්ෆලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක්, රට ඉඳි මෙට්‍රික් ටොන්300ක් ද පාසල් වෙත බෙදා දීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් පැවසීය.

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙයි.

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDIA) ඇතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

IMG 20240419 WA0007