ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දියාවේ සමාගම් දෙකකින් ඖෂධ මිල දී ගැනීමට තීරණය කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපතිවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ගොනු කළ මේ පෙත්සම කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නිර්මලන් විග්නේශ්වරන් මේ බව දන්වා සිටියේය.
ජයන්ත ජයසූරිය, ගාමිණි අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස් යනගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සමෙ කැඳවන ලදි.
එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සඳහන් කළේ වගඋත්තරකාර ඉන්දීය ඖෂධ සමාගම වෙනුවෙන් පෙනී සිටින බවයි. කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ජූනි 14 දා කැඳවීමට තීරණය කළේය.
සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, සැවොරයිට් ෆාමසිටියුකල් ප්‍රයිවට් ලිමිටඩ්, කෞෂික් තෙරපියුටිස් පෞද්ගලික සමාගම සහ නීතිපතිවරයා ඇතුළු 47 දෙනකු පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දියාවේ සමාගම් දෙකකින් ඖෂධ මිල දී ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පෙත්සමෙහි සඳහන් වේ.
ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව යමින් මේ තීරණය ගෙන ඇති අතර, සෞඛ්‍ය ඇමැතිවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මේ ප්‍රසම්පාදන පටිපාටිය අවභාවිතයට ලක් කොට ඇති බව පෙත්සමෙහි දැක්වේ. ජනතාවගේ සෞඛ්යාරක්ෂිත සහ යහපැවැත්ම පිළිබඳ තැකීමකින් තොරව ගෙන ඇති මේ තීරණය මඟින් මහජනතාවගේ මුදල් අවභාවිතයට ලක් කරන බවටද පෙත්සම මඟින් චෝදනා කර ඇත.
මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1), 14(1)යන විධිවිධාන මඟින් සහතික කර ඇති මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත. අදාළ ඖෂධ මෙරටට ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සහ මිල දී ගැනීමට නියමිත ඖෂධ සඳහා ගෙවීම් සිදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
නීතිඥ තුෂාරී ජයවර්ධනගේ උපදෙස් මත නීතිඥ සේනානී දයාරත්න පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.