Language Switcher

Ad

Ad 01

V2025

දැල්වෙන අරගලයට : පෙරටුගාමීන්ගෙන් තෙලක් !

1953 න් පස්සේ ඇති වෙච්ච විශාලම මහජන නැගිටීම, අද සිදුවූ බවත්, ගෝල්ෆේස් පිටියේ ඇතිවූ මහජන නැගිටීම සහ , කම්කරු ව්‍යාපාරයේ සටන්කාමී සම්ප්‍රදාය මේ මොහොතේ ඒකාබද්ධ වියයුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනා කරයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව සඳහන් කර සිටියේ ය.

ඒ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ය.

1971 සහ 88 -89 දී දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් අරගල සිදුවුවත් , වර්තමානයේ දියත්ව ඇති මේ ජනතා නැගිටීම , 87 ඉන්දු ලංකා ගිවිසුම ගෙනාව අවස්ථාවේදී පවා නොදැකපු තත්ත්වයක් බවත් ඔහු අවධාරණය කරයි.

පුබුදු ගේ අදහස මෙන්න !

අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වුණේ විශේෂ හේතුවක් මතයි. අද දවසේ කම්කරු ව්‍යාපාරයක් විදිහට වැඩ වර්ජනයක් කැඳවලා තියෙනවා. ඒ වැඩ වර්ජනය ඇතුලෙම අද දවල් 11ට වෘත්තීය සමිති දහසක පමණ සහභාගීත්වයක් සහිතව දැවැන්ත පෙළපාලියක් යනවා ගාලුමුවදොර පිටිය දක්වා.

එතකොට අද ගෝල්ෆේස් අරගලයයි අනික් පැත්තෙන් කම්කරු ව්‍යාපාරයයි ඒකාබද්ද වීමක් සිද්ධ වෙනවා. පහුගිය කාලේ මේ සම්බන්ධව විවිධ මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය වලින් විවිධ කාරණා හුවමාරු වුණා. ඒ හුවමාරු වෙද්දී ඒ සම්බන්ධ විවිධ අදහස් සහ විවිධ විවේචන ඉදිරිපත් වෙලා තිබුණා. ඒ හැම එකකටම ලිඛිතව දේවල් කියනවාට වඩා එයට මූලික අදහසක් කියන්නම් කියලා හිතුවේ.

ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ පවා නොතිබූ තත්ත්වයක් !

එකක් තමයි රටේ හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන පරිදි මේ මහජනතාවගේ නැගිටීම අපි සමරන්න ඕන. 1953 න් පස්සේ ඇති වෙච්ච විශාලම මහජන නැගිටීම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. 1971 සහ 88 -89 පවා දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් අරගල සිදුවුණාට මෙවැනි ජනතා නැගිටීමක්, අඩුම ගානේ 87 ඉන්දු ලංකා ගිවිසුම ගෙනාව අවස්ථාවේදී පවා නොදැකපු විදිහේ එකක් තමයි දැන් මේ දියත් වෙමින් තියෙන්නේ.

අනික් පැත්තෙන් අද වැඩ වර්ජනය සහ පෙළපාලිය ගත්තට පස්සේ ඒක 1980 ජූලි වැඩ වර්ජනයෙන් පස්සේ වැඩිම වෘත්තී සමිති එකඟතාවයකින් දියත් වෙන අරගලය කියලා කියන්න පුළුවන්. එතකොට මේක එක්තරා විදිහක ස්වර්ණමය යුගයක් සහ ස්වර්ණමය අවස්ථාවක් මේ ඉතිහාසයෙන් ඇවිල්ලා තියෙන්නේ. 1953 පස්සේ අවුරුදු 70 කට විතර පස්සේ දැවැන්ත මහජන නැගීටීමක් සිද්ධ වෙලා තියෙනවා. 1980 පස්සේ අවුරුදු 40 කට විතර පස්සේ කම්කරු පංතියේ දැවැන්ත ඒක මිතියක්, ඒකාග්‍රතාවයක්, එකඟතාවයක් ඇතිවෙලා තියෙනවා. එතකොට මෙන්න මේ දෙක , ඒ කියන්නේ එක පැත්තකින් ගෝල්ෆේස් පිටියේ ඇති වෙච්ච මහජන නැගිටීමයි, කම්කරු ව්‍යාපාරයේ සටන්කාමී සම්ප්‍රදායයි මේ දෙක ඒකාබද්ධ වෙන්න ඕන කියලා අපි කියන්නේ ඇයි.

මහජන අරගලයයි කම්කරු ව්‍යාපාරයේ එකතු වීමයි කියන එක සංකේතාත්මකයි.

යූටියුබ් ෆේස්බුක් ඇඩ්මින්ලාගේ අරගලය !

මේ අරගලයේ මතය නියෝජනය වෙන්න, ඒකට අදාල කෝපය හදාගන්න විරෝධය හදාගන්න සමාජ මාධ්‍ය භාවිතා වුණා. එකෙන් කියැවෙන්නේ නැහැ මේක සමාජ මාධ්‍යයේ යූටියුබර්ස්ලා නිර්මාණය කරපු අරගලයක් කියලා. ඒ ඒ යුගයන්වල තියෙන තාක්ෂණය ඒ ඒ කාලයට යොදා ගැනීමක් තමයි වුණේ.

උදහරණයක් විදිහට කිව්වොත් 1971 දී ගල් අච්චුවේ මුද්‍රණය කරලා තමයි ලීෆ්රට් ආවේ. ඒ කාලයේ තිබුණ තාක්ෂණය තමයි ගල් අච්චුව. ඒක අරගලයට පාවිච්චි වුණා.

1987- 89 වකවානුව වෙනකොට රණ හඬ ගුවන්විදුලිය තිබුණා. ගවන්විදුලි තාක්ෂණය අරගලයට පාවිච්චි වුණා. ඒ වගේ තමයි දැන් සමාජ මාධ්‍ය තියෙනවා. සමාජ මාධ්‍ය මේ සඳහා භාවිතා වෙනවා. ඒකෙන් කියන්නේ නැහැ සමාජ මාධ්‍යවල ඉන්න ඇඩ්මින්ලා තමයි මේක නිර්මාණය කළේ කියලා. මේක මේ රටේ මිනිස්සුන්ට එන්න එන්නම වැඩි වෙන පීඩාව දරා ගැනීමට බැරි වීම තුළ පුපුරා යාමක් සිදුවුණේ.

අරගලය පන්නරය ලැබූ හැටි !

මේකට විවිධ අය දායක වුණා. මම උදාහරණයකට කියන්නම් හිතන්න මේකට ගුරු අරගලය වෙච්ච දායකත්වය. ගුරුවරු මේ ඔක්කොම ෆ්‍රීස්වෙලා මේ ඔක්කොම කැටිගැහිලා තියෙන වෙලාවක කොවිඩ් අවධානම මැද දසදහස් ගණනින් වීදිවලට බැහැලා ඒ කරපු අරගලය සහ ඒකෙන් ආපු උත්තේජනය. ඊට පස්සේ මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක ගොවියෝ රට පුරා කරපු උද්ඝෝෂණය. ඊගාවට කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතත් එක්ක ආපු ප්‍රශ්නෙදි ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යයෝ කරපු උද්ඝෝෂණය. අර ජෝජ් ෆ්ලොයින් ඝාතනයේ උද්ඝෝෂණයේ ඉඳලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි කරපු මැදිහත් වීම.

ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් මේ රාජපක්ෂ පාලනයේ තියෙන අගතීන් හොරකම් හෙළිදරව් කරමින් පාර්ලිමේන්තුව තුළ ඒගොල්ලො කරපු අරගල. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වගේ කෙනෙක් මිරිහානට ගිහිල්ලා මිරිහානට තමයි යන්න ඕන කියලා ගිය එක බලපෑව මම හිතන්නේ මිනිස්සුන්ට 31 වෙනිදා රෑ මිරිහානට ගිහින් වටලන්න. ඒ නිසා ක්‍රියාකාරීත්වයක් තිබුණා. විවිධ බලවේග, විවිධ දේශපාලන පක්ෂ මේ හැම දේම එකතුවෙලා හදපු දේශපාලන ස්ට්‍රක්චර් එකක් ඇතුළේ තමයි මේක වුනේ. එහෙම නැතුව මේක මේ යූටියුබර්ස්ලයි ෆේස්බුක් ඇඩ්මින්ල දෙතුන්දෙනෙකුයි එකතුවෙලා හැදුව එකක් නෙවෙයි.

අරගලයේ අවස්ථාවාදීන් !

ඇත්තටම ඒගොල්ලො බැලුවේ මේ අවස්ථාවෙන් මේ මහජන අරගලය පාවිච්චි කරලා ගසා කන්න පුළුවන්ද කියලා එක කොටසක් බැලුවා. තව කට්ටියක් මේ ඇවිලිලා තියෙන මහජන අසහනයට උමතු ස්වරූපයක් දෙන්න හැදුවා. හැබැයි දැන් දැන් ඒවා නැහැ. කෝ අර "මේක තරුණ අරගලයක් නාකි ගෙදර හිටපියව්" කියපු යූටියුබ් කාරයෝ ටික දැන් හොයාගන්නවත් නෑ.

එදා 31 වෙනිදා රෑ මිරිහානේ ජනාධිපතිගේ නිවස වැටලුවේ නැත්නම් මේක මේ විදිහට සිද්ධ නොවෙන්නත් ඉඩ තිබුනා.