අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිමවපු ඒ දෙය අප පසුකරගෙන යන්නත් පුළුවන්. අපේ පාලනයෙන් ගිලිහිලා එයට ආවේනික මාර්ගයක, එයටම ආවේනික විදියකට ගමන් කරන්න පුළුවන්. අපේ සෞරග්‍රහ සීමාවෙන් ඔබ්බට ගියාට පස්සේ වොයේජර් යානය ගමන් කරනවා වගේ හරියට.
එක දුරක් යනකම් පාලනය කරන්න පුළුවන් උනාට පාලනයෙන් මිදුනම එයාගෙම කක්ෂයක එයාටම ඕනි විදියට එයා ස්වාධීන විදියට ගමන් කරයි. ඉතින් නිර්මානයක තියන ලස්සනත් ඒ ස්වාධින ගමන් මාර්ගයක යන එකම තමයි. එයාගෙම ගමන් මාර්ගය ඇතුලේ එයාගෙම දේවල් සොයාගන්න එක අලුත් අත්දැකීමක් වේවි. හරියට ගුරු ශිෂ්‍ය සම්බන්දයක් වගේමයි.
මිරිහානෙන් ඇරඹුන ජනතා නැගිටීම ගෝල්ෆේස් එක දක්වා ගිහිල්ල එතැනදී ඒක අලුත් හැඩයක් ගත්ත. විචිත්‍රවත් උණා. බහුත්ව ස්වභාවයක් ගත්ත. රෝස මල් දුන්න. ඒවා ගත්ත.
පසුව ඒකෙ තිබ්බ විචිත්‍රවත් බව නිසාම ඒක ලොකු ජනතා ආකර්ශනයක් වෙත ගමන් කළා. අදටත් මිනිස්සු එනවා. විරෝධය දක්වනවා. හෝන් ගහනවා. පෝස්ටර් අල්ලගෙන ඉන්නවා. සෙල්ෆි ගන්නවා. ෆේස්බුක් දානවා. ඔව්..ලස්සනයි. මමත් දවස් හතරක් ගියා.
පස්සේ ඒක තොවිල් පවිල් කරන තැනකටත් ගමන් කරලා, රණවිරුවොත් ගෙනල්ල, දාන ශීල භාවනා තියල, ලේසර් බිම් ගහල, හොලෝ ලයිට් ගහල තවත් පොස්ට් මොඩන් තැනකට ගියා. ඒ ගැන මම පොස්ටුවක් දැම්ම. දේශපාලන විද්‍යාව ගැන උනන්දු කෙනෙකුට ලොකු රිසච් ඒරියා එකක් එතැන හැදිලා තියනවා.
රාජපක්ෂ විරෝධය කියන්නේ සහ රාජපක්ෂ කෙනෙක් ඉඳගත්ත අසීමිත බලයක් තියන විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම කියන්නේ හෝන් ගහල, පරරේ ගහල, ලේසර් බීම් ගහල, හොලෝ ලයිට් අහසට ගහල ෆුල් සොමියේ කරන්න පුළුවන් වැඩක් ගානට මේක පොදු ජනයාට ප්‍රක්ෂේපනය උනා. ප්‍රක්ෂේපනය කළා.
ඒ එක්කම තමයි ගෝඨාගෝ ගම්මාන දීප ව්‍යාප්ත වැඩ පිළිවෙල ආවේ. ඉහත විරෝධය ප්‍රාදේශීයකරණය වුනේ. ඉතින් ගාල්ලේ, කෑගල්ලේ, නුවර ගෝඨාගෝගම් වැටුණා. මේ වෙනකොටත් තිබ්බ උතුරා යන ජනතා විරෝධය ගෝල්ෆේස්කරණය වීමක් දකින්න පුළුවන් උණා. ඊට සමාන්තරව මිල ඉහල යාම සහ තෙල් ගෑස් නැතිවීම එක්ක මිනිස්සු කුපිත වෙලා හිටියේ.
ගෝල්ෆේස් එකේ රෝස මල් දුන්නම පොලිසියේ අය ඒවා ගත්ත. ඒක මේ අරගලයේ වෙච්ච වැදගත් දෙයක්. අරගලය පැත්තෙන් ඒ දිනා ගැනීම වැදගත්. ඒ ගැන පෝස්ටුවක් පහළ ඇති.
හැබැයි මම පැහැදිලිව ලිව්වා ගෝටාගෝගම් ප්‍රාදේශීය වශයෙන් එනකොට ඒවා ගෝල්ෆේස් අවකාශයෙන් ඛණ්ඩනය වෙනවා නම් හොඳයි කියල. රඹුක්කන කියන්නේ අතිශයින් දේශපාලනීකරණය වෙච්ච කලාපයක්. ඔය කුරුණෑගල වගේමයි. ඒවායේ දේශපාලන අයිතිකාරයෝ ඉන්නවා. ඒවා ඒ අයගේ රාජධානි. ගොඩක් දේවල් පාලනය කරන්නේ ඒ අය. ඒක දැන් දශක ගණනාවක කතාවක්.
මම කියන්නේ අරගලකරුවන් බය වෙන්න ඕනි කියල නෙවෙයි. භූමිය තේරුම් ගන්න කියල. ගෝල්ෆේස් අදහස තියාගෙන ඒකෙන් ඛණ්ඩනය වෙන්න කියල. ගෝල්ෆේස් එකෙන් පරිවාරයට යනකොට භූමිය ගැන ඉවක් තියෙන්න ඕනි. මොකද දඩයම් බල්ලන්ට, වෘකයින්ට ඒ ඉව හොඳට තියනවා.
ටකරං තහඩුවට කක්කුස්සි වලට දේශපාලනය කරපු සහ කරන රටක රඹුක්කන සිද්ද වෙච්ච සිදුවීම ඒ පළාත දන්නා කෙනෙකුට අලුත් දෙයක් නෙවෙයි. සියළු අරගල කෑගල්ල ඇතුලේ පොඩි පට්ටම් උන අතීතය ඔයාලට මතක ඇති.
දැන් මැරුණ උන් වෙනුවෙන් හොලෝ බිම් ගහන්නේ කවුද?
තරුණ කට්ටියට විතරක් පාරට බහින්න කිව්වට එහෙම හරියන්නේ නැහැ. හැමෝම බහිනවා. ඒ බහින්නේ ගෝල්ෆේස් ආකෘතියට නෙවෙයි. හැබැයි එයාල හිතනවා ඇති මෙහෙ ඉන්නෙත් රෝස මල් ගන්න පොලිස් කාරයෝ කියල.
ෆැන්ටසි එකේ එහෙම තිබ්බට ඇත්ත භූමියේ එහෙම නැහැ. ඇත්ත භුමියේ රෝස මල් පැලවුණේ නැහැ. අවම වශයෙන් රඹුක්කන එහෙම උනේ නැහැ.
උතුරේ මේ විදියට අහසට හොලෝ බිම් ගහන්න 'රණවිරුවෝ' දෙයිද? මඩකලපුවේ දෙයිද? කල්මුණේ දෙයිද?
මම කියන්නේ නැහැ ගෝල්ෆේස් මධ්‍යම පන්තිය සහ රඹුක්කන දුප්පත් පන්තිය කියල. හැබැයි මේ දෙක නම් පැහැදිළිව දෙකක්. තවත් තැන් මිටත් වඩා වෙනස් ඇති.
'යුධ අපරාධ' කියන වචනේ තිබ්බ කියල ඊයේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ක්‍රියාකාරී කමිටුව ඇතුලේ ගොඩක් වාද විවාද කරලා ඒ වචනේ බහුතර අය විසින් අයින් කළා. මතභේදකාරී දේ නොකිය ඉමු කිව්වා. එහෙම කලේ ගෝල්ෆේස් කොල්ලෝ උපක්‍රම ශිලියි ඒ නිසා අපිත් උපක්‍රම ශීලි වෙමු කියල. ඒ කියන්නේ ගෝල්ෆේස් එකට ඕනි විදියට අපි සියල්ල ඉවසන සුළු - සියල්ල ඇතුලත් කරන සුළු - පෝස්ට්මොඩන් වෙමු කියල (all-inclusive postmodernity).
හැබැයි පෙළපාලිය ඉවර වෙලා බලන කොට රඹුක්කන එවැනිම අපරාධයක් වෙලා. දැන් හැමෝම මුල්ලිවයික්කාල් ෆොටෝ නැවත දානවා.
ඉහත මීටින් එකේදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම කිව අපි අපේ දැනුම සහ අවබෝධය ඇතුලේ අනාගතවාදී වෙමු කියල. මතභේදකාරී වෙමු කියල. එහෙම මතභේදකාරී දෙයක් අවශෝෂණය කරන්න ගන්න ගෝල්ෆේස් එකට ශක්තිය ඇති කියලත් ඔහු කිව්වා. නමුත් ඒක ගෝල්ෆේස් සියල්ල දියවෙන සුළු සීතල වතුරේ දියවෙලා ගියා.
හැබැයි ඇත්ත භූමිය වෙනදා වගේමයි. රෝස මල් පැල වුණේ නැහැ.
ගෝල්ෆේස් වෝක් එකේ ඉඳල ආපහු එන ගමන් ෆෝන් එකෙන් ඉහත ප්‍රහසනයේ වාක්‍යය මම ටයිප් කළේ ඒ ඉච්ඡාභංගත්වය ඇතුලේ.
Image@ආපහු එනකොට මේ තරුණයා දැක්ක.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි