අදට වඩා වැදගත්
1953 හර්තාලයේ පාඩම !
''1953 හර්තාලය වනාහි සම්පූර්ණ සමාජ විපර්යාසයක් ඇති කිරීමේ මූලික වැඩ පිළිවෙලකට අදාලව ජනතාව විසින් ගත් ප්‍රථම පියවරකි. එකල ජනතාව විසින් අනාගත ජනතාවට හිමිකර දෙන ලද වීරෝධාර, එමෙන්ම නිවැරදි දේශපාලන උරුමයකි. එහෙත් මේ රටේ වාමාංශික නායකයෝ එම උරුමය පිටු දැක ධනේෂ්වර පංතිය සමග සහජීවනය දැක්වීමේ බියගුලු , මෙන්ම වැරැදි සහගත වූ දේශපාලනය උරුම කරගෙන දේශපාලන නපුංසකයන් බවට පත් වූහ.''
('මහා හර්තාලය' -එච් ඒ. සෙනෙවිරත්න )
1953 හර්තාලය මේ රටේ පැරැණි වාමාංශික ව්‍යාපාරය විසින් නායකත්වය දුන් සටනක් ලෙස ඉතිහාසගත වුවද එය සැබැවින්ම ජනතාවගේ මූලිකත්වයෙන් පැන නැගුණු සටනක් විය.
පැරැණි වාමාංශික ව්‍යාපාරයට ඒ සඳහා නායකත්වය දෙන්නට සිදු වූයේ එදා ජීවන බර දරාගත නොහැකිවූ ජනතාව ස්වේඡාවෙන් සටන් මඟට පිවිසීම මඟහැර යනු නොහැකිවූ නිසා බව පැහැදිලිය.
හර්තාලයේ ගිනි පුපුරු නැගුණේ එවකට බලයේ සිටි යූ ඇන් පී ආණ්ඩුව හාල් සේරුව සත 25 සිට සත 70 දක්වා ඉහළ දැමීමට එරෙහිවය. එම මිල වැඩි කිරීමට පෙර 1952 සැප්තැම්බර් වන විට සීනි මිල සත 25කින් වැඩිවී තිබුණු අතර සහල් සලාකය සේරු කාලකින් කපා හැර තිබිපණි. එවකට රජයේ පාසල් දරුවන් 7.50, 000 ට ලබාදි තිබූ දිවා අහාර වේල අහිමි කෙරෙන බවද ප්‍රකාශ කර තිබූ අතර පසුව තැපැල් සහ දුරකතන ගාස්තුද වැඩි කොට තිබිණි. මේ සියලු මිලවැඩි කිරීම් සහ සහනාධාර කපා දැමීම දරා ගත නොහැකි වූ තැන 1953 ජූලි 21 වැනිදා බලපිටිය හා අම්බලන්ගොඩ අතර රන්දොඹේ නැමැති ගමේ ස්ත්‍රින් හා පුරුෂයන්ගෙන් සැදුණු පිරිසක් මහ පාරේ වැතිර ගමනා ගමනය වලක්වා සටන් මඟට පිවිසියහ. එසේ හටගත් ජනතා ගිනි පුපුරු මාදම්පේ, සිනිගම, අකුල හා තොටගමුව දක්වාද ජුලී 23 වනවිට බලපිටිය දක්වාද 24 වනවිට කරන්දෙණිය ඌරගහ සහ අහුංගල්ල දක්වාද ලැව් ගින්නක් සේ පැතිර ගියේය.
ඊට සමගාමීව වරාය කම්කරුවන් 12000ක් පමණ පැය තුනක සංකේත වැඩ වර්ජනයක්ද, වැල්ලවත්ත රෙදි මෝල කම්කරුවන් වරුවක වැඩ වර්ජනයක්ද දියත් කොට තිබිණ.
1953 ජූලි 23 දින විපක්ෂයේ මෙහෙයවීමෙන් ගාලු මුවදොර පිටියේ පැවැති ජන රැළියට 50.000කට අධික පිරිසක් රැස්වූ බව වාර්තා විය.
1953 අගොස්තු 12 වන විට හර්තාල සටනේ කෙන්ද්‍රස්ථානය කොළඹ විය. කඩ සාප්පු වසා දැමීම , දුම්රිය බස්රිය ඇතුළු ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර කිරීම හර්තාලයේ ප්‍රධාන ක්‍රියාදාමයන් අතර විය.
මුහුදු බඩ ආශ්‍රිත ප්‍රදෙශවල ස්ත්‍රීන් රේල් පාර හරහා වාඩිලා කෑම පිසූහ. කොළඹට පැමිණෙන සහ පිටවෙන මහා මාර්ග සහ දුම්රිය මාර්ග සටන්කරුවන් විසින් අහුරා දමන ලදී. කොළඹ නගරයට නුගේගොඩ දෙසින් ඇතුළුවිය හැකි හයිලෙවල් පාර, කිරුළපන පාලම සහ ඒ අවට සටන්කාමීන් ගෙන් පිරී ඉතිර ගොස් තිබිණි. ඔවුන් පාර මැද ගස් කපා පාර මැද දමා අවහිර කොට ඇත.
බොරලැස්ගමුවේදී සටන්කාමීන් විසින් ගස් කපා හෙළා කැස්බෑව හා පිළියන්දල සිට කොළඹ දෙසට යන පාර අවහිර කොට තිබිණ. මේ නිසා කොළඹ නගරය අනෙකුත් නගර වලින් හුදෙකලාවී ගොස් තිබීණි.
වතුකරයේ කම්කරුවන්ද වැඩ නවතා හර්තාලයට එක්ව සිටීම විශේෂ සිද්ධියක් විය. රත්නපුර දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් 18,500ක් වැඩ වරා හර්තාලයට එක්වීම නිසා එම දිස්ත්‍රික්කයෙ වතු 28 ක වැඩ සම්පූර්ණයෙන්ම ඇනැ හිටියේය.
හර්තාලයේ සාර්ථකත්වය සනිටුහන් වන්නේ සියලුම පලාත්වල ජනතාව කිසියම් ආකාරයකින් හෝ තම විරෝධතාව දක්වා සිටීමයි. වැඩවර්ජන, කඩ සාප්පු වසා දැමීම, ගමනා ගමනය අඩාල කිරීම ආදී ක්‍රියාකාරකම් එම විරෝධතා අතර විය.
පාලකයන්ට කොළඹ නගරය තවදුරටත් ආරක්ෂක ස්ථානයක් නොවූ බැවින් එදින ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය රැස්වූයේ මුහුදෙ නතර කොට තිබූ බ්‍රිතාන්‍යයට අයත් යුද නැවක් තුළය.
අගොස්තු 12 දින උදෑසනම සටන්කාමීන් විශාල පිරිසක් පිටකොටුව දෙසට ඒකරාශී වෙමින් සිටි අතර පොලීසියද සූදානම්න් සිටියේය. පොලිසිය විසින් රැස්ව සිටි සටන්කාමීන් පළවා හරින්නට දැරූ උත්සාහය නිසා දෙපිරිස අතර ගැටුමක් ඇති විය. පොලිසිය බැටන්පොලු වලින් සටන්කාමීන්ට පහර දෙන්නට පටන් ගත්විට සටන්කාමීහු ගල් මුල්වලින් පහර දුන්හ. සටන්කාමීන් පොලිසියට පහරදුන් අවස්ථාවකදී පොලිසිය පසු බසිමින් බැරැක්ක වලට ගාල් වූහ. සටන්කරුවන් පසු බසින අවස්ථාවලදී පොලිසිය යළි ඉදිරියට පැමිණ පහර දුන්හ. එහිදී සටන්කරුවනට ගල් සපයා ඇත්තේ පිටකොටුවේ නාටාමිලා විසින් බව කියති. ඔවුන් තම කූඩවලට ගල් පුරවා ගෙන වුත් සටන්කාමීනට දුන් බවද කියති.
පොලිසිය හා සටන්කරුවන් අතර පැවැති ගැටුමේදී ලංකා සමසමාජ පක්ෂයේ සාමාජික එඩ්වින් නමැති සහොදරයකු හමුදා වෙඩි පහරකට ලක්ව මිය ගියේය.
ඉන්පසු ආණ්ඩුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කීරීමත් සමග සටන නතර කරන ලෙස සමසමාජ පක්ෂ නායකයින් ඉල්ලා සිටි නමුත් ඒ මොහොතේම සටන නතර කිරීමට ජනතාව සූදානම් නොවීය.ඔවුන් කොළඹින් පිට තම ප්‍රදේශවල මහා මාර්ග අවහිර කරමින් වාඩිලා සිටියහ.
හර්තාල් සටනෙදී පොලිස් වෙඩි පහරින් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සටන්කාමීහු 9 දෙනෙක් මිය ගියහ.
හර්තාලය අතරමග නතරවූ දේශපාලන ක්‍රියාවලියක් වුවද එයින් ජනතාවට ජයග්‍රහණ කිහිපයක් අත් කර දුන්නේය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සත 25 සිට 70 දක්වා වැඩිකළ හාල් සේරුවක මිළ සත 55 දක්වා අඩු කරන්නට සිදු විය.
අනතුරුව එම රජයේ අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක සෞඛ්‍ය හේතුන් මත යයි කියා අගමැතිකමින් ඉල්ලා අස්වූයේය
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා ගේ ෆේස්බුක් ගිනුමෙනි.