Language Switcher

Ad

Ad 01

V2025

සර්ව පාක්ෂික සමුළුවේදී මොකද වුනේ ?

සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ආරම්භ කෙරිණ.

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබී ය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 15ටම ඒ සඳහා ආරාධනාකර තිබුණත් පක්ෂ හතක් ඒ සඳහා සහභාගී නොවන බව දැනුම්දී තිබේ.

සමුළුවේ දී කබ්රාල් ආර්ථික අර්බුදයට හේතු ඉදිරිපත් කරයි

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාර්ව පාක්‍ෂික සමුළුවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද සහභාගී වී සිටියේ ය.

සමුළුවේ ආරම්භක කතාව ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ කොරෝනා වසංගතය හේතුවෙන් ලොව සෑම රටක්ම පාහේ ආර්ථික අර්බුදවලට මුහුණදුන් බව යි.

"කොවිඩ් වසංගතය ක්‍රමක්‍රමයෙන් ලෝකය වෙලාගන්නට පටන්ගන්නා විට සමහර රටවල් ශක්තිමත් ආර්ථික පදනමක හිටියා. ඒත් සමහර රටවල් විවිධ හේතූන් නිසා දුර්වල වී තිබුණා,"යි පැවසූ ඔහු 2015 - 2019 අතර කාල සමයේ දී ලංකාවේ ආර්ථික වර්ධන වේගය කඩා වැටී තිබූ බව ප්‍රකාශ කළේ ය.

මිළ ඉහළ ගිය භාණ්ඩ ලැයිස්තුව තවත් දිගුවෙයි

"බැසිල්ගේ වැරද්දක් නැහැ" - ආණ්ඩුවේ මැති ඇමතිවරු කියති

විදේශීය ණය ඇමරිකානු ඩොලර් බිලියන 15කින් වර්ධනය වුව ද විදේශ සංචිත ප්‍රමාණය ඇ. ඩො. බිලියන එකකින් පමණ පහළගොස් තිබුණුබව ද, පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා සංචාරක ක්ෂේත්‍රය අඩාල වූ බව ද ප්‍රකාශ කළ ඔහු, මේ ආකාරයෙන් වැටි තිබූ ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතයට ඔරොත්තුදීමට ශක්තියක් නොතිබූබව ද පැවසීය.

 123834870 277008050 510473977112921 4131905963036705056 n.jpgමෙහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ රජයටත්, මහ බැංකුවටත් පහත අභියෝගයන්ට මුහුණදීමට සිදුවූ බව යි:

එන්නත්කරණයට විශාල මුදලක් වැය කිරීමට සිදුවීම

රු. බි. 4100ක පමණ ණය කල්තැබීමක් ලබාදීම

ලොක්ඩවුන් හේතුවෙන් රු. බි. 1000කට වඩා ආර්ථික ක්‍රියාකාරකම් රටට අහිමිවීම

රජයේ ආදායම් බෙහෙවින් අඩුවීම නිසා රජයේ ගෙවීම් සඳහා මුදල් සපයාදීමට මහ බැංකුවට සිදුවීම

සංචාරක ක්ෂේත්‍රයෙන් සාමාන්‍යයෙන් ලැබෙන වාර්ෂික විදේශ ශුන්‍ය වීම

විවිධ හේතූන් නිසා විදේශ විනිමය ප්‍රේෂණ 2021 මැද කාලයේ සිට දැවැන්ත ලෙස අඩුවීම

රුසියානු යුක්රේන යුද්ධය නිසා බොරතෙල් බැරලයක මිළ සීඝ්‍රයෙන් වැඩිවීම

මුළු ලෝකයේම උද්ධමනය දශක හතරක කාලයක් තුළ ඉහළතම අගය වාර්තා කිරීම

"ශ්‍රී ලංකාවේ අද පවතින විදේශ ණය අර්බුදයට මූලික හේතුවක් ලෙස අප දකින්නේ රටේ විදේශීය ණයබරතාවය 2015 සිට 2019 දක්වා අවුරුදු පහ තුළ දී ඉතා සීඝ්‍ර ලෙස වැඩිවීම යි," මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී මහ බැංකු අධිපතිවරයාට පිළිතුරු දෙමින් පැවසුවේ තමා මෙහි පැමිණියේ පටු දේශපාලනය සඳහා නොවනබව යි.

"මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ... මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා 'මේකට එන්න, පරණ යාළුකමටවත් එන්න' කියලා. ඉතින් අපි හිතුවා මේක වැදගත් කියලා, ඒ නිසා මෙතෙන්ට ආවා. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම රටේ තියෙන මේ උග්‍ර ප්‍රශ්නේ [නිසා]. මෙතෙන්ට අපි ආවේ නෑ ආපහු මේ පක්ෂ දේශපාලනේට, කවුද වගකියන්නේ කියලා මේවාකරන්න. අර පටු දේශපාලනේට, මහ බැංකුවේ අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නෑ. ඒත් මං කණගාටුවෙනවා, එතුමා පටන්ගත්තේම මේක ගිය ආණ්ඩුවේ වැරද්දක් කියල. මං ඒකට පිළිතුරු දුන්නොත්? එතකොට මොකද්ද, ඊළඟටත් පිළිතුරු දෙනවද? ඕක අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවන්ගෙන්නේ, එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නේ තියෙන්නෑ කියලා. ඕක යි වෙන්නේ," ඔහු ප්‍රකාශ කළේ ය.

"ඉතින් මං මේ ගැන කියන්නේ එක කාරණයක් විතර යි. ඒ දවස්වල වෙන ප්‍රතිපත්තියක් ගියේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා, බොන්න තිබුණා, පෙට්‍රල් තිබුණා. ඊට වඩා කියන්න යන්නෑ."

"තව එකක් තියෙනවා ජනතිපති තුමා කිව්වා මේක අපේ ජයග්‍රණයක් කියලා. මම මෙතනට ආවේ විපක්ෂයේ කොටසක් ඇවිල්ලා නෑ. මම ආවේ ඒගොල්ලෝ පරාජය කරන්න නෙමෙයි. මෙතෙනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා ඒවා ගිහින් කියලා ඒගොල්ලොත් සම්බන්ධකරගන්න. ඉතින් අපි මේවයින් තොරව මේ ප්‍රශ්න ගැන කතා කරමු."

 123834866 276309001 510474143779571 310663290252425887 n.jpg

අනතුරුව අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් සමාව ඉල්ලා සිටියේය. "ඔබ තුමාගේ හිත රිදිල්ලක් වුණා නම් එකට සමාව ඉල්ලා සිටින බවයි. කිසිම කෙනෙකුට චෝදනා නඟන්න නොවෙයි. අවංකවම සෑම කෙනෙකුගේම අදහස් ගන්න තමයි කථා කළේ කියන මම අවධාරණය කරනවා."

 

IMF වාර්තාව ගැන රනිල් සහ බැසිල් ගැටුමක්

මේ අතර මෙම සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර වචන හුවමාරුවක් සිදු විය.

හිටපු අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කෙටුම්පත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ මෙම බහින්බස්වීම ඇතිවිය.

"මට ඔබට කෙටුම්පත ලබා දෙන්න බැහැ," මුදල් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සඳහා නැවත නැවතත් කළ ඉල්ලීම් රජය විසින් ප්‍රතික්ෂේප කළ බව පැවසූ රනිල් වික්‍රමසිංහ, බොහෝ දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට හේතුව මෙය බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව ශ්‍රී ලංකාවට ලැබී නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම වාර්තාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ බව තමාට දැනුම් දුන් බවයි.

ශ්‍රී ලංකාවට ලැබුණේ කෙටුම්පතක් බවත්, ඊට රජය සිය අදහස් එක් කරන බවත් අවසන් වාර්තාව නිකුත් කරන්නේ IMF මණ්ඩල අනුමැතියෙන් පසුව බවත් අවශ්‍යනම් එම කෙටුම්පතේ පිටපතක් ලබාදිය හැකි බවට බැසිල් රාජපක්ෂ පවසා සිටියේය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, "මට දෙන්න එපා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න" යනුවෙනි.

අප්‍රේල් මාසයේ නව අයවැයක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ IMF යෑම ගැන නොයෙක් දේ කතාවුණත් එය අලුත් දෙයක් නොවන බවයි. "වාර්තාවේ ඩ්‍රාෆ්ට් එක විතරයි නිලවශයෙන් ආවේ. අපි ඒකේ යම් යම් සංශෝධනය කරලා යවලා තියෙනවා යනුවෙන් පවසා ඔහු පැවසුවේ එය ලබාදිය නොහැකි බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තවදුරත් පවසා සිටියේ, නව අයවැයක් නොදුරේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

"අපි ඉදිරි කාලයේ සිංහල - දෙමළ අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා ජනතාවට විශාල සහයක් දෙන්න බලා පොරොත්තුවෙනවා. ඒ සහනයත් එක්ක නව අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස මම එකඟයි. මට මතක් වන්නේ "වනේ ගිජිදාය දුටුවොත් වනසාය, ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය, අතකින් කර වැලකි, අතෙකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. මොකද මේ එයා කැලෙ යනකොට තනි අලියෙක් ආවා. තනි අලියා දන්නවනේ ටිකක් දරුණුයි නේ ඉතින් අද තනි අලියා...ඒ වගේ තමයි අද ජනතාවට අමාරුයි කියලා දන්නවා" ඔහු කියා සිටියේය.

සර්වපාක්ෂික සමුළුවට ඩයනා ගමගේ ගේ යෝජනාව

අය පවසන්නේ කංසා වගාවෙන් විදේශ විනිමය ඉපයි හැකි බවයි. ඇය තවදුරටත් පැවසුවේ දැනටමත් රට ප්‍රමාද වී ඇති බවයි. කංසා නීතිගත කර එය අපනයනය නොකිරීමෙන් මේ වන විටත් රටට ඩොලර් බිලියන දෙකක් පමණ අහිමිවී ඇති බවයි."අපි දන්නවා ඉන්දියාවේ මේ ළඟදී ප්‍රාන්ත 3කට නීත්‍යානුකූලව කංසා වගාව කරන්නට දුන්නා, බලය දුන්නා පිටරට යවන්න. අපේ රට මේවගේ තත්ත්වයක තියෙද්දිත් අදත් අපිට ඩොලර් බිලියන 2ක් පමණ නැතිවුණා, මම යෝජනාව ගෙනාපු දවසේ ඉදලා. අපි මේ යෝජනාව හරියට ගෙනල්ලා නීත්‍යානුකූල කරා නම් අද වන විට ඩොලර් බිලියන 2ක් මේ රටට ලබා ගන්න තිබ්බ තැන අපි නැති කර ගත්තා."

සමුළුවට සහභාගී වූයේ කවුද?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණන 15කි.

විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු නියෝජතියන් පිරිසක්, දෙමළ ජාතික සන්ධානය නියෝජන කරමින් එහි නායක ආර්.සම්පන්දන්, එම්.ඒ.සුමන්තිරන් ඇතුළු පිරිසක් සහ ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ද සමුළුවට සහභාගි වුණි.

මේ අතර, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ඇතිකරගත් එකඟතාවට අනුව එම කණ්ඩායම නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා මහාචාර්ය තිස්ස විතාරණ සමුළුවට සහභාගි වි සිටි අතර පක්ෂ 11 නියෝජනය කරන මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අසංක නවරත්න වෙනම සමුළුවට සහභාගි වුණි.

එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතරින් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සර්වපාක්ෂික සමුළුව සඳහා සහභාගී නොවීය.

තම පක්ෂය මේ සඳහා සහභාගී නොවීමට මූලික හේතුව වන්නේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා පසුගිය කාලය පුරාම සිය වගකීම නිසි ලෙස ඉටුකර නොමැතිවීම නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ ය.

"ඒ වගේම මේ වගේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම හරහා කරන්න උත්සාහ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට සහ තවදුරටත් ජනතාව හා රට රැවටීමට කියන කාරණය ගැන තමා අපේ අවධානය යොමුවුණේ. ඒ අනුව අවසාන වශයෙන් පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළා මේකට සහභාගී නොවීමට," ඔහු කියා සිටියේ ය.

ජාතික ජන බලවේගය ද ප්‍රකාශ කළේ තම පක්ෂය ද සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව යි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නායක රනිල් වික්‍රමසිංහ සමුළුවට සහභාගී විය.

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, සහ සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් ‍තේසිය කුට්ටනි පක්ෂ ද මෙම සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවනබව ප්‍රකාශකර තිබුණි.

ජාතික කොංග්‍රසයේ ඒ. එල්. එම්. අතාවුල්ලා සිය ස්ථාවරය මෙතෙක් ප්‍රකාශකර නොමැත.

සමුළුවට සහභාගී වන පක්ෂ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සහ අපේ ජනබල පක්ෂය සමුළුවට සහාභාගී වීමට නියමිතව තිබුණි.

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ මහාචාර්ය තිස්ස විතාරණ ද මීට සහභාගී විය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී ඊයේ (මාර්තු 22) අදාළ පක්ෂවල නායකයෝ රැස්වී සාකච්ඡා කළහ.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කියා සිටියේ රටේ තත්ත්වය ඉතාම කණගාටුදායක බව යි.

"මේ රට අද නායකත්වයක් නැති විදිහේ අස්ථාවරයක් කරා ඇදගෙන ගිහිල්ලා තියෙනවා. කවුරුහරි හිතන් ඉන්නවා නම් ඉන්දියාවෙන් හරි කොහෙන්හරි කීයක් හරි හිඟමනට අරන් ඇවිල්ලා ඒකෙන් මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කියලා, ඒක වෙන්නේ නැහැ. ඊළඟ අවුරුද්ද වෙනකොට ප්‍රශ්නය තවත් බරපතල වෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය.

රට තුළ පවතින විවිධ අර්බුදවලට මුහුණදීමට සහ ඒවාට විසඳුම් වශයෙන් පිළියම් සෙවීමට මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා ඇත්තේ, පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යි.

"අර්ධපාර්ශවික ප්‍රෝඩාවක්"

පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙය සර්වපාක්ෂික සමුළුවක් නොව, "අර්ධපාර්ෂික ප්‍රෝඩාවක්" බව කියා සිටියේ ය.

"ආණ්ඩුවට අවංක උවමනාවක් තියෙනවා නම් මුලින්ම පොහොට්ටුව ඇතුළේ ඒ අර්බුදයට විසඳුමක් හදාගන්න ඕනේ," ඔහු පැවසුවේ ය.

මේ අතර, සර්වපාක්ෂික සමුළුව පැවැත්වීමට දිනකට පෙර ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යධුරයෙන් නිමල් ලාන්සා ඉල්ලා අස්විය.

"රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් ඉතා පීඩනයක සිටින අවස්ථාවක දී ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරව බලාසිටීමට සිය හෘද සාක්ෂියට එකඟ නොවන බව" පවසමින් ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබුණි.

නිමල් ලාන්සාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් අමාත්‍යධුරයෙන් නෙරපා හරින ලද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ: "නිමල් ලාන්සා මැතිතුමාගේ ඉවත්වීම තව එක් ඇමතිවරයෙක් ඉවත්වීමක් නෙමෙයි. ආණ්ඩුව ඇතුළේ ඉවත්වීමට බලාගෙන ඉන්න ඇමතිවරුන්ගෙන් ඇතිවුන පුංචි ආරම්භයක් විතරයි."

ඉදිරියේ දී තවත් මන්ත්‍රීවරුන් විශාල ගණනක් ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.

'ජනතා ප්‍රශ්න ගැන රජයේ අවධානය'

මේ අතර ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මාර්තු 22) රාත්‍රියේ පැවැත්විණි. පැය තුනකට අධික කාලයක් පැවති රැස්වීමෙන් අනතුරව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා සිටියේ ආණ්ඩු පක්ෂය ලෙස ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අත්වැල් බැඳ එකට ගමන්කළ යුතුයැ යි යන මතයට සියලුදෙනා පැමිණි බව යි.

"සමස්ත ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී සම්පූර්ණයෙන් කතා කළේ ජනතා ප්‍රශ්න සහ විසඳුම් පිළිබඳව යි," ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යවරයාත් මේ ආර්ථික අර්බුදයෙන් අත්මිදීමේ අනාගත වැඩපිළිවෙල පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ බව මන්ත්‍රී සංජීව එදිරිමාන්න ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ ය.

"ජනතාවගේ ප්‍රශ්න ගැන අපි සමීප නැත්තේ නැහැ. අපි සමීප යි. ඒ නිසා තමා ආණ්ඩුව තුළ ඉඳලත් ආණ්ඩුව සමහර කියන කාරණවලට විරුද්ධ මත අපි දරන්නේ," ප්‍රේමනාත් සී. දොලේවත්ත මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (මාර්තු 23) පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර කියා සිටියේ, "රජය ප්‍රකාශයට පත් කළා සර්ව පාක්ෂික සමුළුවක් වෙත සියලුම පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ පක්ෂවලට පැමිණිලා තමන්ගේ විසඳුම්, ආර්ථිකමය වශයෙන් තමන්ට තිබෙන විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම. ඒ අනුව පක්ෂ රාශියක් අද තමන්ගේ විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා රැස්වෙලා තිබෙන බව අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. නමුත් වගකිය යුතු දේශපාලන පක්ෂ තමන්ගේ විසඳුම් ඉදිරිපත් කරන්න අවශ්‍ය මොහොතකදි සමහරු ඒවා කරඇරීමෙන් අපිට පෙන්නුම් කරනවා තමන්ට විසඳුමක් ඇත්ත වශයෙන්ම ශබ්ද නගන ප්‍රමාණයට නොමැති බව."

ඔහු කියා සිටියේ "රජයක් විදිහට අද මුහුණ දෙන එක කරුණක් තමයි රාජ්‍ය ණයබරිතතාවය."

"2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධුරය වගකීම භාරගන්න අවස්ථාවේදි එතුමා රුපියල් බිලියන 226.7 ක ණය බරක් භාර ගත්තා. යහපාලන ආණ්ඩුව 2019 වන විට ලංකාවේ ණය බරිතතාවය මධ්‍යම රජයේ රුපියල් බිලියන 13031.5 යි. ඒ විශාල ණය බරිතතාවයකට රට ලක් කරලා ඔවුන් රටට අත්පත් කරලා දුන්න වාසිය කුමක්ද?"

"පහුගිය ජනවාරි 18 වෙනිදා අප රජයට සිදු වුණා ඩොලර් මිලියන 500 ක ණයබරිතතාවයක් ස්වෛරි බැදුම්කර ගෙවා දැමීමට සිදු වුණා. මේ ඩෝලර් මිලියන 500 ක ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ ලබා ගත්ත ණය ප්‍රමාණයක් ද කියලා අපි විමසනවා. එතුමාගේ කාලයේ ස්වෛරි බැදුම්කර එක රුපියලයක්වත් නිකුත් කළේ නැති බව කියන්න ඕන. එම නිසා එතුමා මේ ණයබරිතාවය පිළිබඳව අරගලයේදි වගඋත්තර කරුවා කියන්න හදනවා නම් මෙය නොකළ වරදකට අපරාදමය වගකීමක් ඔහු වෙත පැවරීම සඳහා විපක්ෂය ගෙනන මේ හුදු අවලාදයකි. ඒ පිළිබඳව මේ ජාතිය දැනුවත් විය යුතුයි."

"මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ ඩොලර් අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වන්නේ සහේතුවක වන බවයි. යුක්රේනය සහ රුසියාව අතර තිබෙන යුද්ධය නිසා අපට විදේශ වශයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය සීමා වනවා. මේ දරුණු තත්වයත් එකක් ලෝක තෙල් මිල අඩකින් ඉහළ යෑමේ අර්බුදයට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වගේ සැපයුම්දාම කළමණාකරණය කිරීමට ලංකාවට සිදු වුණා. අද වන විට තෙල් සැපයීමේ, තිරිඟු පිටි සැපයීමේ, අහාර ද්‍රව්‍ය සැපයීමේ ගැටලුවක් තිබෙනවා. මේ සැපයුම්දාම බිඳවැටිමේ ක්‍රියාවලිය කෙටි කාලයකට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් අපි මේ ගැටලුවේදි පලා යන්නේ නෑ. මේ සඳහා විසඳුම් ගරු මුදල් අමාත්‍යතුමා රජයට යෝජනා කරනවා. "යනුවෙන් ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කළේ මෙම අර්බුදය 'හරියට කියවන ක්‍රමයක්' ඉක්මනින් නිර්මාණය විය යුතු බව යි. නැතහොත් අරාජිකත්වයෙන් රට අවසන් වනු ඇතැ යි ද එම පක්ෂය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර පවසා සිටියේ මෙම සර්ව පාක්ෂික සමුළුව මීට වසරකට පමණ පෙර කැඳවීමට තිබූ බව යි.

"ප්‍රශ්නය දෙස විද්‍යාත්මක ලෙස බැලීමේ අවශ්‍යතාවක් තිබුණා. ජනාධිපතිතුමාටවත් ඒ ගැන අවබෝධයක් තියෙනව ද කියන එක සැක යි. ඒ මොකද ජනාධිපති ජාතිය අමතන කතාවෙදිවත් ප්‍රශ්නයේ මූලයන් ගැන කතා කළේ නැහැ. පාර්ලිමේන්තුවේ විවාදයක් නැහැ. මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක්වත් කරන්නේ නැහැ. අපේ රජයේ ආදායම බැහැගෙන යනවා. බණ්ඩාරනායක මැතිණිය පාලනය කරනකොට '77 රජයේ ආදායම දළ දේශීය නිශ්පාදනයෙන් 24% යි. අද 6%යි. අද භාණ්ඩාගාරයට ඩොලර් නැති එක නෙමේ ප්‍රශ්නය, රුපියල් නැහැ. භාණ්ඩාගාරේ සල්ලි නැහැ, බිංදුව යි," ඩිව් ගුණසේකර චෝදනා කළේ ය.

"මම විපක්ෂ මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොට මට ජේ. ආර්. ජයවර්ධන ටෙලිෆෝන් කරනවා රාත්‍රියේ, මගේ අදහස් අහනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා විපක්ෂ මන්ත්‍රිවරයෙකු වන මගේ අදහස අහලා තියෙනවා. හැබැයි අපිම තෝරා පත්කරගත් ජනාධිපතිතුමා ජනාධිපති වුණායින් පස්සේ තාම හම්බවෙලා නැහැ. අපේ පක්ෂය කැඳෙව්වා නම් අපි ගිහින් කියනවා. ආණ්ඩු පක්ෂයෙන් අහන්නෙත් නැහැ. විපක්ෂයෙන් අහන්නෙත් නැහැ. ඔක්කම වුණායින් පස්සේ කැඳවනවා. අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපේ නියෝජිතයෝ තුන්දෙනෙක් යනවා. අපේ පැත්නෙන් අපේ යුතුකම ඉටු කරනවා ජනතාව වෙනුවෙන්," ඔහු ප්‍රකාශ කළේ ය.

BBC සිංහල සේවය